4. 1. 3.
තෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල භික්ෂුණීන් දෙදෙනෙක් බඹසර කෙරෙහි නොඇල්මෙන් පෙළුණාහු, කාමරයකට පිවිස තලඝාතකය (මුත්‍රා මාර්ගයට අතුලෙන් පහර දීම) කරති. භික්ෂුණීහු ඒ ශබ්දය අසා දුව ඇවිත් ඒ භික්ෂුණීන්ට මෙසේ කීහ: “ආර්යාවෙනි, ඔබ පුරුෂයන් සමඟ දූෂිත වන්නේ කුමක් නිසා ද?” “ආර්යාවෙනි, අපි පුරුෂයන් සමඟ කිසිසේත් දූෂිත නොවන්නෙමු.” ඔවුහු මේ කරුණ භික්ෂුණීන්ට දැන්වූහ.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “භික්ෂුණීන් තලඝාතකය කරන්නේ කෙසේ ද?” කියා. -පෙ- “මහණෙනි, භික්ෂුණීන් තලඝාතකය කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, භික්ෂුණීන් තලඝාතකය කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“තලඝාතකයෙහි (මුත්‍රා මාර්ගයට පහර දීමෙහි) පාචිත්තිය ඇවැත් වේ” යනුයි.
3. තලඝාතක නම්: ස්පර්ශය රස විඳිමින්, අඩුම තරමින් මහනෙල් පෙත්තකින් වුව ද මුත්‍රා මාර්ගයට පහර දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: රෝගයක් හේතුවෙන් කරන්නියට ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තෙවන ශික්ෂාපදය යි.
4. 1. 4.
සතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ, පෙර ගිහි කාලයේ රජුගේ අන්තඃපුරයේ සිටි එක්තරා කාන්තාවක් භික්ෂුණීන් අතර පැවිදි වී සිටියා ය. පැවිදි ජීවිතයේ නොඇලීමෙන් පීඩා විඳි එක්තරා භික්ෂුණියක් ඒ භික්ෂුණිය වෙත පැමිණියා ය. පැමිණ ඒ භික්ෂුණියට “ආර්යාවෙනි, රජතුමා ඔබ වෙත පැමිණෙන්නේ බොහෝ කලකට වරක් පමණි. ඔබ කෙසේ එය ඉවසා දරා සිටින්නේ දැ?” යි මේ කරුණ කීවා ය. “ආර්යාවෙනි, ජතුමට්ටකයකිනි.” “ආර්යාවෙනි, ඒ ජතුමට්ටකය කුමක් ද?” එවිට ඒ භික්ෂුණිය ඒ භික්ෂුණියට ජතුමට්ටකය ගැන පැහැදිලි කොට කීවා ය. එවිට ඒ භික්ෂුණිය ජතුමට්ටකයක් (ප්‍රයෝජනයට) ගෙන, එය සෝදන්නට අමතක කොට එක් පැත්තක දැමුවා ය. භික්ෂුණීහු මැස්සන් වටකර ගත් එය දැක “මෙය කාගේ වැඩක් දැ?” යි ඇසූහ. ඇය “මෙය මාගේ වැඩකි” යි කීවා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් ජතුමට්ටකයක් (ප්‍රයෝජනයට) ගන්නී දැ?” යි. -පෙ- “මහණෙනි, භික්ෂුණියක් ජතුමට්ටකයක් (ප්‍රයෝජනයට) ගත්තී ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් ජතුමට්ටකයක් ගන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ජතුමට්ටකයක් භාවිත කිරීමෙහි පාචිත්තිය ඇවැත් වේ” යි.
3. ජතුමට්ටකය නම්: ලාකඩින් කළ, දැවයෙන් කළ, පිටියෙන් කළ, මැටියෙන් කළ දෙයකි.
ආදියෙය්‍ය (භාවිත කරයි නම්): ස්පර්ශය රස විඳිමින් අඩුම තරමින් මහනෙල් පෙත්තක් වුව ද මුත්‍රා මාර්ගයට ඇතුළු කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: රෝගයක් හේතුවෙන් කරන්නියට ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සතරවන ශික්ෂාපදය යි.