3. 2.
දෙවැනි ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල බොහෝ භික්ෂුණීහු ගම්බද ආවාසයක වස් විසීම නිම කොට, වත් පිළිවෙත් සම්පූර්ණ වූ, ඉරියව් මනා වූ, දිරූ සිවුරු ඇති, රළු සිවුරු ඇති අය වී සැවැත්නුවරට ගියහ. උපාසකවරු ඒ භික්ෂුණීන් දැක, “මේ භික්ෂුණීහු වත් පිළිවෙත් සම්පූර්ණ අය ය. ඉරියව් මනා අය ය. දිරූ සිවුරු ඇති අය ය. රළු සිවුරු ඇති අය ය. මේ භික්ෂුණීන්ගේ සිවුරු පැහැර ගන්නට ඇත” යි සිතා භික්ෂුණී සංඝයාට අකාලචීවර (සිවුරු ලැබීමට නියමිත කාලයෙන් පිටත ලැබුණු සිවුරු) දුන්හ. ථුල්ලනන්දා භික්ෂුණිය, “අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින් මෙය) කාලචීවරයකි” යි අධිෂ්ඨාන කොට බෙදෙව්වාය. උපාසකවරු ඒ භික්ෂුණීන් දැක, “ආර්යාවන්ට සිවුරු ලැබුණා ද?” යි ඇසූහ. “ඇවැත්නි, අපට සිවුරු නොලැබුණි. ආර්යා ථුල්ලනන්දා, ‘අප විසින් කඨිනය අතුරන ලදී. (එබැවින් මෙය) කාලචීවරයකි’ යි අධිෂ්ඨාන කොට බෙදෙව්වාය” යි ඔවුහු කීහ. උපාසකවරු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදෙව්වා ද?” යි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයන්ගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදෙව්වා ද?” යි -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදෙව්වා යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදෙව්වා ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුණියක් අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ.
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අකාලචීවර නම්: කඨිනය නොඇතිරූ විට එකොළොස් මාසය තුළ ලැබුණු සිවුර ද, කඨිනය ඇතිරූ විට සත් මාසය තුළ ලැබුණු සිවුර ද වේ. සිවුරු කාලයේ දී වුව ද නම් කොට දුන් (“මෙය කණ්ඩායමට, මෙය ඔබට දෙමි” යි කියා හෝ පාමුල තබා හෝ දුන්) සිවුර ද අකාලචීවර නම් වේ.
අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදවයි නම්, ඒ සඳහා උත්සාහ කිරීමේ දී දුක්කට වේ. සිවුර ලැබීමෙන් නිස්සග්ගිය වේ. එය සංඝයාට හෝ ගණයාට (භික්ෂුණීන් කිහිප දෙනෙකුට) හෝ එක් භික්ෂුණියකට හෝ අත්හළ යුතුයි. මහණෙනි, මෙසේ අත්හළ යුතුයි -පෙ- “ආර්යාවෙනි, මේ අකාලචීවරය කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට මා විසින් බෙදවන ලදී. (එබැවින්) මෙය නිස්සග්ගිය විය. මම මෙය සංඝයාට අත්හරිමි” -පෙ- දෙන්නේ නම් මැනවි -පෙ- දෙන්නාහු නම් මැනවි -පෙ- “ආර්යාවට දෙමි.”
අකාලචීවරයක් අකාලචීවරයකි යි හඟිමින් කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදවයි නම් නිස්සග්ගිය පාචිත්තිය වේ. අකාලචීවරයක් ගැන සැකයෙන් සිටිමින් කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදවයි නම් දුක්කට ඇවැත් වේ. අකාලචීවරයක් කාලචීවරයකි යි හඟිමින් කාලචීවරයකි යි අධිෂ්ඨාන කොට බෙදවයි නම් ඇවැත් නැත. කාලචීවරයක් අකාලචීවරයකි යි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ. කාලචීවරයක් ගැන සැකයෙන් සිටින්නී නම් දුක්කට ඇවැත් වේ. කාලචීවරයක් කාලචීවරයකි යි හඟින්නී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අකාලචීවරය කාලචීවරයකි යි හඟිමින් බෙදවයි නම්, කාලචීවරය කාලචීවරයකි යි හඟිමින් බෙදවයි නම්, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවැනි ශික්‍ෂාපදයයි.