3. 12.
දොළොස්වන ශික්ෂාපදය
1. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයේ වැඩ වසන සේක. එකල ථුල්ලනන්දා භික්ෂුණිය බොහෝ දේ අසා දැනගත්, බණ දහම් හොඳින් කියන්නට හැකි, බිය නැති, දැහැමි කතා කීමෙහි දක්ෂ කෙනෙක් වූවාය. එවිට පසේනදි කොසොල් රජතුමා උෂ්ණ කාලයේදී ඉතා වටිනා කොමු පිළියක් (හණ වැනි පටවලින් කළ රෙද්දක්) පොරවාගෙන ථුල්ලනන්දා භික්ෂුණිය වෙත පැමිණියේය. පැමිණ ථුල්ලනන්දා භික්ෂුණියට ගෞරවයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හුන් පසේනදි කොසොල් රජතුමාට ථුල්ලනන්දා භික්ෂුණිය ධර්ම කතාවෙන් කරුණු මැනවින් පෙන්වා දුන්නාය; ඒ කරුණු මැනවින් සිතට ගැන්වූවාය; උත්සාහය මැනවින් ඇති කළාය; මැනවින් සතුටු කළාය. එවිට ථුල්ලනන්දා භික්ෂුණිය ධර්ම කතාවෙන් කරුණු මැනවින් පෙන්වා දී, සිතට ගන්වා, උත්සාහය ඇති කොට, සතුටු කළ පසේනදි කොසොල් රජතුමා ථුල්ලනන්දා භික්ෂුණියට “ආර්යාවෙනි, යමක් ඔබට ප්‍රයෝජනවත් වේ නම් කියන්න” යි කීය. “මහරජ, ඔබ මට යමක් දෙන්නට කැමති නම් මේ කොමු පිළිය මට දෙන්න” යි ඇය කීවාය. එවිට පසේනදි කොසොල් රජතුමා ථුල්ලනන්දා භික්ෂුණියට කොමු පිළිය දී, අසුනෙන් නැගිට, ථුල්ලනන්දා භික්ෂුණියට ගෞරවයෙන් වැඳ, පැදකුණු කොට ගියේය.
2. මිනිසුන් “මේ භික්ෂුණීන් මහත් ආශා ඇත්තියෝය; ලැබුණු දෙයින් සතුටු නොවන්නියෝය. කෙසේ නම් රජතුමාගෙන් කොමු පිළියක් ඉල්ලා ගන්නෝද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතා භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීන් සිටියාද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා රජතුමාගෙන් කොමු පිළියක් ඉල්ලා ගන්නීද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය රජතුමාගෙන් කොමු පිළියක් ඉල්ලා ගත් බව සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය රජතුමාගෙන් කොමු පිළියක් ඉල්ලා ගන්නීද? මහණෙනි, මෙය නොපැහැදුණු අය පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සැහැල්ලු පොරෝනයක් ඉල්ලා ගන්නා භික්ෂුණිය විසින් කහවණු දහයක් උපරිම අගය කොට ඇති එකක් ඉල්ලා ගත යුතුය. එයට වඩා වටිනා එකක් ඉල්ලා ගනී නම් නිස්සග්ගිය පාචිත්තිය (ලැබූ දෙය අත්හැර දෙසිය යුතු ඇවැත) වේ.”
3. සැහැල්ලු පොරෝනය නම්: උෂ්ණ කාලයේදී පොරවන යම්කිසි පොරෝනයකි.
ඉල්ලා ගන්නා යනු: ඉල්ලා සිටින භික්ෂුණිය විසින්.
කහවණු දහයක් උපරිම අගය කොට ඇති එකක් ඉල්ලා ගත යුතුය යනු: කහවණු දහයක වටිනාකම ඇති එකක් ඉල්ලා ගත යුතුය.
එයට වඩා වටිනා එකක් ඉල්ලා ගනී නම් යනු: එයට වඩා වටිනා එකක් ඉල්ලයි නම්, ඉල්ලීමට උත්සාහ කිරීමේදී දුක්කට ඇවැත් වේ. එය ලැබුණු විට නිස්සග්ගිය (අත්හැර දිය යුතු) වේ. එය සංඝයාට හෝ ගණයකට (භික්ෂුණීන් කිහිප දෙනෙකුට) හෝ එක් භික්ෂුණියකට හෝ අත්හැර දිය යුතුය. මහණෙනි, මෙසේ අත්හැර දිය යුතුය. -පෙ- “ආර්යාවෙනි, කහවණු දහයක උපරිම අගය ඉක්මවා මා විසින් ඉල්ලා ගත් මේ සැහැල්ලු පොරෝනය නිස්සග්ගිය විය. මම මෙය සංඝයාට අත්හැර දෙමි” යි -පෙ- දිය යුතුය -පෙ- දිය යුතුය -පෙ- “ආර්යාවට දෙමි” යි.
කහවණු දහයකට වැඩි වටිනාකමක් ඇති දෙයක් ගැන වැඩි යැයි හඟිමින් ඉල්ලා ගනී නම් නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. කහවණු දහයකට වැඩි වටිනාකමක් ඇති දෙයක් ගැන සැකයෙන් සිටිමින් ඉල්ලා ගනී නම් නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ. කහවණු දහයකට වැඩි වටිනාකමක් ඇති දෙයක් ගැන අඩු යැයි හඟිමින් ඉල්ලා ගනී නම් නිස්සග්ගිය පාචිත්තිය ඇවැත් වේ.
කහවණු දහයකට අඩු වටිනාකමක් ඇති දෙයක් ගැන වැඩි යැයි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ. කහවණු දහයකට අඩු වටිනාකමක් ඇති දෙයක් ගැන සැකයෙන් සිටින්නී නම් දුක්කට ඇවැත් වේ. කහවණු දහයකට අඩු වටිනාකමක් ඇති දෙයක් ගැන අඩු යැයි හඟින්නී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: කහවණු දහයක් උපරිම අගය කොට ඇති එකක් ඉල්ලා ගනී නම්, කහවණු දහයකට අඩු අගයක් ඇති එකක් ඉල්ලා ගනී නම්, නෑයන්ගෙන් ඉල්ලයි නම්, (අවශ්‍ය දෙයක් ඉල්ලන්නට) ආරාධනා කළ අයගෙන් ඉල්ලයි නම්, වෙනත් කෙනෙකු සඳහා ඉල්ලයි නම්, තමාගේම ධනයෙන් ගනී නම්, වටිනා දෙයක් ලබා දෙන්නට කැමති කෙනෙකුගෙන් අඩු වටිනාකමක් ඇති දෙයක් ඉල්ලා ගනී නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දොළොස්වන ශික්ෂාපදය නිමි.