නවවන ශික්ෂාපදය යි.
8. 6. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් අවි අතැති, ගිලන් නොවූ අයට ධර්මය දේශනා කරති -පෙ-
“අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. ආයුධ (අවි) නම්: දුන්න හෝ දුනු විශේෂයක් හෝ ය.
අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
සයවන සුරුසුරු වර්ගය යි.
පාදුකා වර්ගය
8. 7. 1.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් පයේ මිරිවැඩි දමාගෙන සිටින අයට ධර්මය දේශනා කරති -පෙ-
“පයේ මිරිවැඩි දමාගෙන සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. පයේ මිරිවැඩි දමාගෙන සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් මිරිවැඩි මත පා තබාගෙන සිටින (ඇඟිලි ඇතුළු නොකොට මිරිවැඩිය පමණක් පාගාගෙන සිටින) හෝ, මිරිවැඩි දමාගෙන සිටින හෝ, අඩක් දමාගෙන සිටින (විලුඹ බැඳි පටිය ගලවා සිටින) හෝ, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
පළමුවන ශික්ෂාපදය යි.
8. 7. 2.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් පයේ පාවහන් දමාගෙන සිටින අයට ධර්මය දේශනා කරති -පෙ-
“පයේ පාවහන් දමාගෙන සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. පයේ පාවහන් දමාගෙන සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් පාවහන් මත පා තබාගෙන සිටින හෝ, පාවහන් දමාගෙන සිටින හෝ, අඩක් දමාගෙන සිටින හෝ, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.
8. 7. 3.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් යානයක හිඳ සිටින අයට ධර්මය දේශනා කරති -පෙ-
“යානයක හිඳ සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. යාන නම්: වය්හ (වහලක් සහිත ගැල් වර්ගයක්) ය, රථ ය, ගැල ය, සන්දමානිකා (දෙපසින් ආවරණ ඇති රථ වර්ගයක්) ය, සිවිකා (දෝලා) ය, පාටඞ්කී (රෙද්දෙන් සෑදූ එල්ලෙන දෝලාවක්) ය.
යානයක හිඳ සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් යානයක හිඳ සිටින, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය යි.