කබළ වර්ගය
8. 5. 1.
එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කළ සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් බත් පිඩ මුව ළඟට ගෙන නොආ විට මුව අරිති -පෙ-
“බත් පිඩ මුව ළඟට ගෙන නොආ විට මුව නොඅරින්නෙමි”යි හික්මිය යුතුය.
බත් පිඩ මුව ළඟට ගෙන නොආ විට මුව නොඇරිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් පිඩ මුව ළඟට ගෙන නොආ විට මුව අරියි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
පළමුවන ශික්ෂාපදයයි.
8. 5. 2.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් වළඳමින් මුළු අතම මුවට දමති -පෙ-
“වළඳමින් මුළු අතම මුවට නොදමන්නෙමි”යි හික්මිය යුතුය.
වළඳන තැනැත්තා මුළු අතම මුවට නොදැමිය යුතුය. යමෙක් අනාදරයෙන් වළඳමින් මුළු අතම මුවට දමයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදයයි.
8. 5. 3.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් මුවෙහි බත් පිඩ තිබියදී කතා කරති -පෙ-
“මුවෙහි බත් පිඩ තිබියදී කතා නොකරන්නෙමි”යි හික්මිය යුතුය.
මුවෙහි බත් පිඩ තිබියදී කතා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් මුවෙහි බත් පිඩ තිබියදී කතා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදයයි.
8. 5. 4.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් (මුව තුළට) බත් පිඩ උඩ දමා දමා වළඳති -පෙ-
“බත් පිඩ මුවට උඩ දමා දමා නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
බත් පිඩ උඩ දමා දමා නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් පිඩ උඩ දමා දමා වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්ෂාපදයයි.
8. 5. 5.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් බත් පිඩ කඩ කඩා වළඳති -පෙ-
“බත් පිඩ කඩ කඩා නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
බත් පිඩ කඩ කඩා නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් පිඩ කඩ කඩා වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ව්‍යංජන වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදයයි.
8. 5. 6.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් කම්මුල් පුරවාගෙන වළඳති -පෙ-
“බත් පිඩ කම්මුල්වල රැස් කරගෙන නොවළඳන්නෙමියි හික්මිය යුතුයි.”
කම්මුල් පුරවාගෙන නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ කම්මුල් පුරවාගෙන වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදයයි.