හයවන ශික්ෂාපදය
8. 3. 7.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් ඉවත දමන්නට කැමති අය මෙන් නොසැලකිල්ලෙන් (සිහිය නොපිහිටුවා) පිණ්ඩපාතය පිළිගනිති. -පෙ-
“සිහිය පිහිටුවාගෙන පිණ්ඩපාතය පිළිගන්නෙමි”යි හික්මිය යුතුය.
සිහිය පිහිටුවාගෙන සැලකිල්ලෙන් පිණ්ඩපාතය පිළිගත යුතුය. යමෙක් අනාදරයෙන් ඉවත දමන්නට කැමති කෙනෙකු මෙන් නොසැලකිල්ලෙන් පිණ්ඩපාතය පිළිගනී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වන ශික්ෂාපදය
8. 3. 8.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය පිළිගනිති. (දායකයන්) පිණ්ඩපාතය දෙන විටත්, දී ඉවත් ව යන විටත් ඔවුහු එය නොදනිති. -පෙ-
“පාත්‍රය කෙරෙහිම සිත යොමාගෙන පිණ්ඩපාතය පිළිගන්නෙමි”යි හික්මිය යුතුය.
පාත්‍රය කෙරෙහිම සිත යොමාගෙන පිණ්ඩපාතය පිළිගත යුතුය. යමෙක් අනාදරයෙන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය පිළිගනී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය
8. 3. 9.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් පිණ්ඩපාතය පිළිගන්නා විට සූපම (හොදිම) බොහෝ කොට පිළිගනිති. -පෙ-
“බතින් හතරෙන් කොටසකට වඩා නොවැඩි සූප ඇති පිණ්ඩපාතය පිළිගන්නෙමි”යි හික්මිය යුතුය.
සූප නම්: අතින් ගෙන යා හැකි මුං ඇට සූපය (මුද්ගසූප) හා උඳු සූපය (මාසසූප) යන සූප දෙකයි. සමසූපක (බතින් හතරෙන් කොටසකට වඩා නොවැඩි සූප ඇති) පිණ්ඩපාතය පිළිගත යුතුය. යමෙක් අනාදරයෙන් සූපම බොහෝ කොට පිළිගනී නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, රසරස (මේ සූප දෙක හැර අනෙක් එළවළු හොදි, මාළු රස, මස් රස ආදිය) නම්, නෑයන්ගෙන් නම්, පවාරණය කළ අයගෙන් (ඉල්ලන්නට ආරාධනා කළ අයගෙන්) නම්, අනෙකෙකු සඳහා නම්, තමාගේම ධනයෙන් නම්, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය