7. 4.
හතරවැනි පාටිදේසනීය ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල ශාක්‍යයන්ගේ දාසයෝ (ස්වාමීන්ට) විරුද්ධ වී සිටියහ. ශාක්‍ය කාන්තාවෝ වනයේ සෙනසුන්හි වසන භික්ෂූන්ට දානයක් දෙන්නට කැමැති වූහ. “ශාක්‍ය කාන්තාවෝ වනයේ සෙනසුන්හි දානයක් දෙන්නට කැමැති වූහ ලු” යි ශාක්‍ය දාසයෝ ඇසූහ. ඔව්හු මඟ අවුරා සිටියහ. ශාක්‍ය කාන්තාවෝ ප්‍රණීත වූ කෑ යුතු දේත් වැළඳිය යුතු දේත් රැගෙන වනයේ සෙනසුනට ගියහ. ශාක්‍ය දාසයෝ (සැඟවී සිටි තැනින්) නික්ම ශාක්‍ය කාන්තාවන්ගේ දේ පැහැර ගත්හ; ඔවුන් දූෂණය ද කළහ. ශාක්‍යයෝ නික්ම ඒ සොරුන් බඩු සමඟ ම අල්ලාගෙන, “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා ආරාමයෙහි සොරුන් වසද්දී ඒ බව නොදන්වත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ ශාක්‍යයන්ගේ කථාව භික්ෂූහු ඇසූහ. -පෙ- එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
2. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි ධර්ම කතාවක් වදාරා භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, කරුණු දහයක් සලකා භික්ෂූන්ට ශික්ෂාපදය පනවන්නෙමි. සංඝයාගේ යහපත පිණිස ය -පෙ- සද්ධර්මය බොහෝ කල් පවතිනු පිණිස ය, විනයට උපකාර වනු පිණිස ය. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සැක සහිත යැයි සම්මත වූ, බිය උපදවන වනයේ සෙනසුන් යම් තැනක ඇද්ද, එබඳු සෙනසුන්හි වසන යම් භික්ෂුවක් කලින් නොදන්වා ගෙනෙන ලද කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ ආරාමය ඇතුළත දී තම අතින් පිළිගෙන කයි නම් හෝ වළඳයි නම් හෝ, ඒ භික්ෂුව විසින් ‘ඇවැත්නි, මම ගැරහිය යුතු, නුසුදුසු, පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය දෙසමි (පවසා පිළිගනිමි)’ යි දෙසිය යුතු ය.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශික්ෂාපදය භික්ෂූන්ට මෙසේ පනවන ලද්දේ වේ.
3. එකල එක්තරා භික්ෂුවක් වනයේ සෙනසුන්හි ගිලන් වී සිටියේ ය. මිනිස්සු කෑ යුතු දේ හෝ වැළඳිය යුතු දේ හෝ රැගෙන වනයේ සෙනසුනට ගියහ. එවිට ඒ මිනිස්සු ඒ භික්ෂුවට, “ස්වාමීනි, වළඳනු මැනවි” යි කීහ. එවිට ඒ භික්ෂුව, “වනයේ සෙනසුන්හි දී කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ තම අතින් පිළිගෙන කෑම, වැළඳීම භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලදී” යි සැක කරමින් එය පිළිනොගත්තේ ය. පිඬු සිඟා යන්නට ද නොහැකි විය. ඔහුට ආහාර නොලැබී ගියේ ය. එවිට ඒ භික්ෂුව මේ කරුණ භික්ෂූන්ට දැන්වී ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
4. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි ධර්ම කතාවක් වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගිලන් භික්ෂුවකට වනයේ සෙනසුන්හි දී කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ තම අතින් පිළිගෙන කන්නටත් වළඳන්නටත් අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සැක සහිත යැයි සම්මත වූ, බිය උපදවන වනයේ සෙනසුන් යම් තැනක ඇද්ද, එබඳු සෙනසුන්හි වසන යම් භික්ෂුවක් ගිලන් නොවී, කලින් නොදන්වා ගෙනෙන ලද කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ ආරාමය ඇතුළත දී තම අතින් පිළිගෙන කයි නම් හෝ වළඳයි නම් හෝ, ඒ භික්ෂුව විසින් ‘ඇවැත්නි, මම ගැරහිය යුතු, නුසුදුසු, පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය දෙසමි (පවසා පිළිගනිමි)’ යි දෙසිය යුතු ය.”
5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: ආරණ්‍යක සේනාසන (වනයේ සෙනසුන්) නම්: අඩුම තරමින් දුනු පන්සියයක් දුරින් පිහිටි සෙනසුනයි.
සාසඞ්ක (සැක සහිත) නම්: ආරාමයෙහි හෝ ආරාමයේ අවට සීමාවෙහි හෝ සොරුන් රැඳී සිටි තැන් පෙනේ, කෑම කෑ තැන් පෙනේ, සිටගෙන සිටි තැන් පෙනේ, හිඳගෙන සිටි තැන් පෙනේ, වැතිර සිටි තැන් පෙනේ.
සප්පටිභය (බිය සහිත) නම්: ආරාමයෙහි හෝ ආරාමයේ අවට සීමාවෙහි හෝ සොරුන් විසින් මරා දැමූ මිනිසුන් පෙනේ, කොල්ලකෑමට ලක් වූ මිනිසුන් පෙනේ, පහර කෑ මිනිසුන් පෙනේ.
යො පන යනු: යමෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි ‘භික්ෂුව’ යයි අදහස් කරන ලද්දේ මොහු ය.
තථාරූපෙසු සේනාසනේසු යනු: මෙබඳු සෙනසුන්හි.
අප්පටිසංවිදිත (කලින් නොදැන්වූ) නම්: පස් වැදෑරුම් සහධාර්මිකයන් (එකම සසුනේ පැවිදි වූවන්) අතුරෙන් කිසිවකු යවා දන්වන ලද්දේ නම්, එය අප්පටිසංවිදිත නම් වේ. ආරාමය සහ ආරාමයේ අවට සීමාව හැර (අතරමග දී දුටු භික්ෂුවකට හෝ ගමට පැමිණි භික්ෂුවකට) දන්වන ලද්දේ නම්, එම දැන්වීම ද අප්පටිසංවිදිත නම් වේ.