6. 9. 8.
කණ්ඩුප්පටිච්ඡාදි ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට කැසිලි ආදිය වසා ගන්නා රෙද්දක් (කණ්ඩුප්පටිච්ඡාදියක්) අනුදැන වදාරා තිබිණි. ෂඩ්වර්ගික භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් කැසිලි වසන රෙද්දක් අනුදැන වදාරා ඇත” කියා ප්‍රමාණය ඉක්මවූ කැසිලි වසන රෙදි දරති. ඒවා ඉදිරියෙනුත් පිටුපසිනුත් ඇදගෙන ඇවිදිති. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් සිටියේද -පෙ- ඔවුහු ඒ ගැන හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති:
“ෂඩ්වර්ගික භික්ෂූහු කෙසේ නම් ප්‍රමාණය ඉක්මවූ කැසිලි වසන රෙදි දරන්නාහු ද?” කියා -පෙ- “මහණෙනි, ඔබ ප්‍රමාණය ඉක්මවූ කැසිලි වසන රෙදි දරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් ගැරහූ සේක: -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් ප්‍රමාණය ඉක්මවූ කැසිලි වසන රෙදි දරන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
කැසිලි වසන රෙද්දක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණයට අනුව කරවිය යුතුයි. එහි ප්‍රමාණය මෙයයි: සුගත වියතින් (බුදුරජාණන් වහන්සේගේ වියතින්) දිගින් වියත් හතරකි, පළලින් වියත් දෙකකි. එය ඉක්මවන්නාට කපා දැමිය යුතු පාචිත්තිය ඇවැතක් (ඡේදනක පාචිත්තිය) වේ.
2. කණ්ඩුප්පටිච්ඡාදි නම්: යම් භික්ෂුවකගේ නාභියෙන් පහළ, දණහිසට ඉහළ කැසිල්ලක් හෝ බිබිලි හෝ කුණු ගැලීමක් හෝ ලොකු කස් රෝගයක් හෝ ඇත්නම්, ඒ රෝගය වසා ගැනීම පිණිස වූ රෙද්දයි.
කාරයමානෙන (කරවන) යනු: තමා කරන්නේ හෝ අනුන් ලවා කරවන්නේ හෝ ය. ප්‍රමාණයට අනුව කරවිය යුතුයි. එහි ප්‍රමාණය මෙයයි: සුගත වියතින් දිගින් වියත් හතරකි, පළලින් වියත් දෙකකි. එය ඉක්මවා කරයි නම් හෝ කරවයි නම් හෝ ඒ කරන ක්‍රියාවේදී දුක්කට ඇවැත් වේ. එය ලැබුණු පසු කපා දමා පාචිත්තිය ඇවැත දෙසිය යුතුයි.
තමා විසින් නිම නොකරන ලද්දක් තමා නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් නිම නොකරන ලද්දක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් නිම නොකරන ලද්දක් තමා නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් නිම නොකරන ලද්දක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අනුන් සඳහා කරයි නම් හෝ කරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. අනුන් විසින් කරන ලද්දක් ලැබ පරිහරණය කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: ප්‍රමාණයට අනුව කරයි නම්, ප්‍රමාණයට වඩා කුඩාවට කරයි නම්, අනුන් විසින් කරන ලද ප්‍රමාණය ඉක්මවූ එකක් ලැබ කපා දමා පරිහරණය කරයි නම්, වියනක් හෝ බිම් ඇතිරිල්ලක් හෝ තිරයක් හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවැනි කණ්ඩුප්පටිච්ඡාදි ශික්ෂාපදයයි.