6. 9. 6.
තූලොනද්ධ (පුළුන් පිරවීම පිළිබඳ) ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුවරයාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු ඇඳත් පුටුවත් පුළුන් පුරවා වසා කරවති. මිනිස්සු විහාර බලමින් ඇවිදිද්දී එය දැක හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාම සැප විඳින ගිහියන් මෙන් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ කෙසේ නම් ඇඳත් පුටුවත් පුළුන් පුරවා වසා කරවත් ද?” කියායි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා සිටියාද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූහු කෙසේ නම් ඇඳත් පුටුවත් පුළුන් පුරවා වසා කරවත් ද?” කියායි. -පෙ- “මහණෙනි, ඔබ ඇඳත් පුටුවත් පුළුන් පුරවා වසා කරවන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් ගැරහූ සේක: -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් ඇඳත් පුටුවත් පුළුන් පුරවා වසා කරවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අය පැහැදවීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ඇඳක් හෝ පුටුවක් හෝ පුළුන් පුරවා වසා කරවන්නේ නම්, (පුළුන්) විදහා ඉවත් කළ යුතු පාචිත්තිය ඇවැත් වේ” කියායි.
3. යො පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛු (භික්ෂුව) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු යි.
මඤ්ච (ඇඳ) නම්: මසාරක, බුන්දිකාබද්ධ, කුළීරපාදක, ආහච්චපාදක යන ඇඳන් හතරකි.
පීඨ (පුටුව) නම්: මසාරක, බුන්දිකාබද්ධ, කුළීරපාදක, ආහච්චපාදක යන පුටු හතරකි.
තූල (පුළුන්) නම්: ගස් පුළුන්, වැල් පුළුන්, තණ පුළුන් යන පුළුන් වර්ග තුනකි.
කාරාපෙය්ය (කරවන්නේ නම්): කරයි නම් හෝ කරවයි නම් හෝ, කරන උත්සාහයේදී (ප්‍රයෝගයේදී) දුක්කට ඇවැත් වේ. ලැබීමෙන් පසු (පුළුන්) විදහා ඉවත් කර පාචිත්තිය ඇවැත දේශනා කළ යුතුයි.
තමා විසින් පටන්ගෙන නිම නොකළ දෙයක් තමාම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් පටන්ගෙන නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් පටන්ගෙන නිම නොකළ දෙයක් තමාම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් පටන්ගෙන නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අනුන් සඳහා කරයි නම් හෝ කරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. අනුන් විසින් කරන ලද්දක් ලැබ පරිහරණය කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: ආයෝග පටියෙහි, ඉණ පටියෙහි (කාබානෙහි), අංසවට්ටකයෙහි, පාත්‍ර ගෝනියෙහි, පෙරහනෙහි (පුළුන් තිබීමෙන්) ඇවැත් නැත. කොට්ටයක් කරයි නම්, අනුන් විසින් කරන ලද්දක් ලැබ (පුළුන්) විදහා ඉවත් කර පරිහරණය කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවැනි තූලෝනද්ධ ශික්ෂාපදය යි.