6. 9. 4.
ඉඳිකටු කොපුව පිළිබඳ ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුරයෙහි නුග අරමෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා ඇත්දළ කර්මාන්තකරුවෙක් “යම් ස්වාමීන් වහන්සේලාට ඉඳිකටු කොපුවකින් ප්‍රයෝජනයක් ඇත්නම්, මම ඉඳිකටු කොපුවක් දෙමි” යි භික්ෂූන්ට ආරාධනා කර තිබුණේය. එකල්හි භික්ෂූහු බොහෝ ඉඳිකටු කොපු ඉල්ලති. කුඩා ඉඳිකටු කොපු ඇති අය මහත් ඉඳිකටු කොපු ඉල්ලති. මහත් ඉඳිකටු කොපු ඇති අය කුඩා ඉඳිකටු කොපු ඉල්ලති. එවිට ඒ ඇත්දළ කර්මාන්තකරු භික්ෂූන්ට බොහෝ ඉඳිකටු කොපු සාදමින් සිටි නිසා විකිණීමට වෙනත් බඩුවක් සාදන්නට නොහැකි විය. ඔහුට තමාත් යැපෙන්නට නොහැකි විය. ඔහුගේ අඹුදරුවෝද දුක් වින්දෝය. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ පමණ නොදැන බොහෝ ඉඳිකටු කොපු ඉල්ලන්නාහු ද? මොහු මොවුන්ට බොහෝ ඉඳිකටු කොපු සාදමින් සිටින නිසා විකිණීමට වෙනත් බඩුවක් සාදන්නට නොහැකි වෙයි. තමාත් නොයැපෙයි. මොහුගේ අඹුදරුවෝද දුක් විඳිති” යි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂූහු පමණ නොදැන බොහෝ ඉඳිකටු කොපු ඉල්ලන්නාහු ද?” යි. -පෙ- “මහණෙනි, භික්ෂූහු පමණ නොදැන බොහෝ ඉඳිකටු කොපු ඉල්ලන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ පමණ නොදැන බොහෝ ඉඳිකටු කොපු ඉල්ලන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් ඇටයෙන් හෝ දළයෙන් හෝ අඟෙන් හෝ සාදන ලද ඉඳිකටු කොපුවක් කරවයි නම්, භේදනක (බිඳ දැමිය යුතු) පාචිත්තිය ඇවැත් වේ.
3. යො පන (යම්): යම් කෙනෙක්, යම් බඳු කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු යි.
අට්ඨි (ඇට) නම්: යම් කිසි ඇටයකි.
දන්ත (දළ) නම්: ඇත්දළයට කියනු ලැබේ.
විසාණ (අං) නම්: යම් කිසි අඟකි.
කාරාපෙය්ය (කරවයි නම්): තමා සාදයි නම් හෝ අනුන් ලවා සාදවයි නම් හෝ, ඒ උත්සාහයේදී දුක්කට ඇවැත් වේ. එය ලැබුණු විට බිඳ දමා පාචිත්තිය ඇවැත දෙසිය යුතුය.
තමා පටන් ගෙන නිම නොකළ දෙයක් තමාම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමා පටන් ගෙන නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් පටන් ගෙන නිම නොකළ දෙයක් තමා නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් පටන් ගෙන නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අනුන් සඳහා සාදයි නම් හෝ සාදවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. අනුන් සාදන ලද්දක් ලැබ පරිහරණය කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: සිවුරු බොත්තමෙහි (ගණ්ඨිකාවෙහි), ගිනි ගාන දඬුවේ දුන්නෙහි (අරණියෙහි), ඉණ පටියේ අගුලෙහි, අඳුන් බඳුනෙහි, අඳුන් ගාන කූරෙහි, වෑ මිටෙහි, දිය පිසදමන උපකරණයෙහි ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවැනි සූචිඝර (ඉඳිකටු කොපුව පිළිබඳ) ශික්ෂාපදය යි.
6. 9. 5.
මඤ්ච (ඇඳ පිළිබඳ) ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුවරයාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන් උස් ඇඳක සැතපෙයි. එවිට භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග සෙනසුන් බලමින් චාරිකාවේ ඇවිදින සේක්, ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන්ගේ විහාරය වෙත පැමිණි සේක. ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන් දුර සිටම වඩින භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩින සේක්වා! මාගේ ඇඳ බලන සේක්වා!” කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ එතැනින්ම ආපසු හැරී වැඩ, භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, හිස් පුරුෂයා ඔහු වසන තැනින් දැනගත යුතුයි” කියායි. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන්ට නොයෙක් කරුණෙන් ගරහා, පෝෂණය කිරීමට අපහසු බව -පෙ- “මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“අලුත් ඇඳක් හෝ පුටුවක් හෝ කරවන භික්ෂුව විසින්, ඇඳ රාමුවේ යට කොටස හැර, සුගත අඟලෙන් අඟල් අටක් උස පා ඇති ලෙස කරවිය යුතුයි. එය ඉක්මවන්නාට ඡේදනක (ඉක්මවූ කොටස කපා දැමිය යුතු) පාචිත්තිය ඇවැත් වේ” කියායි.