6. 9. 10.
නන්‍දත්‍ථේර ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේගේ සුළු මවගේ පුත්‍රයා වූ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් වහන්සේ ඉතා රූපවත් වූ, දැකුම්කලු වූ, සිත පහදවන, භාග්‍යවතුන් වහන්සේට වඩා ඇඟිලි හතරකින් පමණක් මිටි වූ කෙනෙක් වූහ. උන්වහන්සේ සුගත සිවුරේ ප්‍රමාණයෙන් යුත් සිවුරක් දරති. ස්ථවිර භික්ෂූන් වහන්සේලා දුර සිටම එන ආයුෂ්මත් නන්ද තෙරුන් දුටුහ. දැක, භාග්‍යවතුන් වහන්සේ වඩින සේකැයි සිතා අසුන්වලින් නැගිට, උන්වහන්සේ ළඟට පැමිණි විට හඳුනාගෙන, හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් සුගත සිවුරේ ප්‍රමාණයෙන් යුත් සිවුරක් දරන්නේ ද?” කියා. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්ද තෙරුන්ගෙන් ඇසූ සේක: “නන්දය, ඔබ සුගත සිවුරේ ප්‍රමාණයෙන් යුත් සිවුරක් දරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “නන්දය, කෙසේ නම් ඔබ සුගත සිවුරේ ප්‍රමාණයෙන් යුත් සිවුරක් දරන්නේ ද? නන්දය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් සුගත සිවුරේ ප්‍රමාණයට හෝ ඊට වැඩියෙන් හෝ සිවුරක් කරවයි නම්, ඡේදනක (වැඩි කොටස කපා දැමිය යුතු) පාචිත්තිය ඇවැත් වේ. එහි සුගතයන් වහන්සේගේ සුගත සිවුරේ ප්‍රමාණය මෙයයි: දිගින් සුගත වියතින් වියත් නවයකි, පළලින් වියත් හයකි. මෙය සුගතයන් වහන්සේගේ සුගත සිවුරේ ප්‍රමාණය යි.
2. යො පන (යම්): යම් කෙනෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුව යි.
සුගත සිවුර නම්: දිගින් සුගත වියතින් වියත් නවයකි, පළලින් වියත් හයකි.
කාරාපෙය්ය (කරවයි නම්): කරයි නම් හෝ කරවයි නම් හෝ, කරන අවස්ථාවේ දුක්කට ඇවැත් වේ. ලැබීමෙන් පසු (වැඩි කොටස) කපා දමා පාචිත්තිය ඇවැත දෙසිය යුතු ය.
තමා විසින් නිම නොකළ දෙයක් තමාම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. තමා විසින් නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් නිම නොකළ දෙයක් තමාම නිම කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. අනුන් විසින් නිම නොකළ දෙයක් අනුන් ලවා නිම කරවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අනුන් සඳහා කරයි නම් හෝ කරවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. අනුන් විසින් කරන ලද්දක් ලැබ පරිහරණය කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: ප්‍රමාණයට වඩා කුඩාවට කරයි නම්, අනුන් විසින් කරන ලද්දක් ලැබ කපා දමා පරිහරණය කරයි නම්, වියනක් හෝ බිම් ඇතිරිල්ලක් හෝ තිරයක් හෝ මෙට්ටයක් හෝ කොට්ටයක් හෝ කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවැනි නන්‍දත්‍ථේර ශික්ෂාපදය යි.
නවවැනි රාජ වර්ගය යි.
එහි සාරාංශය (උද්දානය):
රාජන්තෙපුර, රතන, (සන්ත) විකාලෙ ගාමප්පවේසන, සූචිඝර, මඤ්ච, තූලොනද්ධ, නිසීදන, කණ්ඩුපටිච්ඡාදි, වස්සිකසාටික, [සුගත සිවුරේ ප්‍රමාණය නිසා පැනවූ] නන්‍දත්‍ථේර ශික්ෂාපදය යන මේවායින් මේ වර්ගය වේ.
වර්ගවල සාරාංශය (වර්ගෝද්දානය):
මුසාවාද, භූතගාම, භික්ඛුනෝවාද, භෝජන, අචේලක වර්ගය සමඟ සුරාපාන, සප්පාණක, සහධම්මික, රාජ වර්ගය සමඟ ඒ වර්ග නවයකි.
ආයුෂ්මතුනි, පාචිත්තිය ධර්ම අනූදෙක උදෙසන ලදී. එහි ආයුෂ්මතුන්ගෙන් අසමි: කිම, ඔබ පිරිසිදු ද? දෙවෙනි වරටත් අසමි: කිම, ඔබ පිරිසිදු ද? තුන්වෙනි වරටත් අසමි: කිම, ඔබ පිරිසිදු ද? මෙහි ආයුෂ්මතුන් පිරිසිදු ය. එහෙයින් නිහඬව සිටිති. මෙය මෙසේ දරමි (පිළිගනිමි).
ඛුද්දකය නිමි.