6. 8. 7.
සඤ්චිච්ච ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූන් සත්තරසවග්ගිය (දහහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන්ට දැන දැනම කුකුස (සැකය, පසුතැවිල්ල) උපදවති: “ඇවැත්නි, ‘විසි වසට අඩු පුද්ගලයා උපසම්පදා නොකළ යුතු ය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදයක් පනවන ලදී. ඔබත් විසි වසට අඩුව උපසම්පදා වූවෝ ය. කිම, ඔබ උපසම්පදා නොවූවෝ ද?” කියා. ඔවුහු හඬති. භික්ෂූහු “ඇවැත්නි, ඔබ කුමක් නිසා හඬන්නහු ද?” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, මේ ෂඩ්වර්ගික භික්ෂූන් අපට දැන දැනම කුකුස උපදවති” යි කීහ.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු “ෂඩ්වර්ගික භික්ෂූන් කෙසේ නම් භික්ෂූන්ට දැන දැනම කුකුස උපදවන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ඔබ භික්ෂූන්ට දැන දැනම කුකුස උපදවන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් භික්ෂූන්ට දැන දැනම කුකුස උපදවන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ‘මෙයින් මොහුට මොහොතකට වුව අපහසුවක් වන්නේ ය’ යි, වෙනත් කරුණක් නිසා නොව මෙය ම කරුණු කොට, භික්ෂුවකට දැන දැනම කුකුස උපදවයි නම් පාචිත්තිය වේ” යි.
3. යො පන යනු: යමෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
භික්ඛුස්ස: වෙනත් භික්ෂුවකට.
සඤ්චිච්ච: දැන, මනාව දැන, සිතා, අදහස් කොට ඉක්මවා කිරීම යි.
කුක්කුච්චං උපදහෙය්‍ය: ‘ඔබ විසි වසට අඩුව උපසම්පදා වූවා යැයි මට සිතේ. ඔබ විකාලයෙහි (නොකල් වේලෙහි) වැළඳුවා යැයි මට සිතේ. ඔබ මත්පැන් බීවා යැයි මට සිතේ. ඔබ හුදෙකලා තැනක ස්ත්‍රියක සමග හුන්නා යැයි මට සිතේ’ යි කුකුස උපදවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං (මෙය ම කරුණු කොට, වෙන කරුණක් නොව): කුකුස උපදවන්නට වෙනත් කිසිම කරුණක් නැත.
උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව දැන දැනම කුකුස උපදවයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන සැක සහිතව දැන දැනම කුකුස උපදවයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව දැන දැනම කුකුස උපදවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව නොලත් කෙනෙකුට දැන දැනම කුකුස උපදවයි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන සැක සහිත නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: කුකුස උපදවනු නොකැමැත්තේ “ඔබ විසි වසට අඩුව උපසම්පදා වූවා යැයි මට සිතේ, ඔබ විකාලයෙහි වැළඳුවා යැයි මට සිතේ, ඔබ මත්පැන් බීවා යැයි මට සිතේ, ඔබ හුදෙකලා තැනක ස්ත්‍රියක සමග හුන්නා යැයි මට සිතේ, එබැවින් දැනගන්න, පසුව ඔබට කුකුසක් ඇති නොවේවා” යි කියයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සත්වැනි සඤ්චිච්ච ශික්ෂාපදය යි.