6. 8. 5.
තලසත්තික ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු කිපී, නොසතුටු සිතින් යුතුව සත්තරසවග්ගිය (දහහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන්ට තලසැත් (පහර දෙන්නාක් මෙන් අත හෝ අතේ ගත් දෙයක් ඔසවා) පෙන්වති. ඔවුහු කලින් පහර කෑ පුරුද්ද නිසා දැන් පහර එතැයි සිතා හඬති. භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත්නි, ඔබ කුමක් නිසා හඬන්නහු ද?” කියා. “ඇවැත්නි, මේ ෂඩ්වර්ගික භික්ෂූහු කිපී, නොසතුටු සිතින් යුතුව අපට තලසැත් ඔසවා පෙන්වති” කියා (ඔවුහු කීහ).
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු කිපී, නොසතුටු සිතින් යුතුව භික්ෂූන්ට තලසැත් ඔසවා පෙන්වන්නාහු ද?” කියා -පෙ- “මහණෙනි, ඔබ කිපී, නොසතුටු සිතින් යුතුව භික්ෂූන්ට තලසැත් ඔසවා පෙන්වන්නහු ය යන්න සැබෑ ද?” කියා. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ කිපී, නොසතුටු සිතින් යුතුව භික්ෂූන්ට තලසැත් ඔසවා පෙන්වන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් කිපී, නොසතුටු සිතින් යුතුව භික්ෂුවකට තලසැත් ඔසවයි නම් පාචිත්තිය වේ” යි.
3. යො පන යනු: යමෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
භික්ඛුස්ස යනු වෙනත් භික්ෂුවකට.
කුපිතෝ අනත්තමනෝ යනු නොසතුටු වූ, ගැටීමෙන් (ද්වේෂයෙන්) පහර කෑ සිත් ඇති, සිතෙහි තරහ නමැති හුල හටගත්.
තලසත්තිකං උග්ගිරෙය්‍ය යනු කය හෝ කයට සම්බන්ධ (අතේ ගත්) දෙයක් හෝ අඩු තරමින් මානෙල් පතක් වුව ඔසවා පෙන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව කිපී, නොසතුටු සිතින් තලසැත් ඔසවා පෙන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන සැක සහිතව කිපී, නොසතුටු සිතින් තලසැත් ඔසවා පෙන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව කිපී, නොසතුටු සිතින් තලසැත් ඔසවා පෙන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව නොලත් කෙනෙකුට කිපී, නොසතුටු සිතින් තලසැත් ඔසවා පෙන්වයි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන සැක සහිත නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: කිසිවකු විසින් හෝ වෙහෙසනු ලබන විට ඉන් මිදීමේ අදහසින් තලසැත් ඔසවා පෙන්වයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වැනි තලසත්තික ශික්ෂාපදය යි.