6. 8. 12.
පරිණාමන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල සැවැත් නුවර එක්තරා සමූහයක් (කණ්ඩායමක්) විසින් ‘දානය වළඳවා සිවුරු පුදන්නෙමු’ යි සංඝයාට සිවුරු සහිත දානයක් පිළියෙළ කර තිබිණ. එවිට ෂඩ්වර්ගික භික්ෂූහු ඒ සමූහය වෙත ගියහ. ගොස් ඒ සමූහයට මෙසේ කීහ: “ඇවැත්නි, මේ සිවුරු මේ භික්ෂූන්ට දෙන්න.” “ස්වාමීනි, අපි නොදෙන්නෙමු. අප විසින් අවුරුදු පතා සංඝයාට සිවුරු සහිත දානයක් නියම කර ඇත.” “ඇවැත්නි, සංඝයාට දායකයෝ බොහෝ ය, සංඝයාට ලාභ ලැබෙන මාර්ග බොහෝ ය. මොවුහු ඔබ නිසා, ඔබ දෙස බලාගෙන මෙහි වාසය කරති. ඉදින් ඔබ මොවුන්ට නොදෙන්නහු නම්, එසේ නම් වෙන කවරෙක් මොවුන්ට දෙන්නේ ද? ඇවැත්නි, මේ සිවුරු මේ භික්ෂූන්ට දෙන්න.” එවිට ඒ සමූහය ෂඩ්වර්ගික භික්ෂූන් විසින් පීඩා කරනු ලැබ, පිළියෙළ කළ සියලු සිවුරු ෂඩ්වර්ගික භික්ෂූන්ට දී, සංඝයාට දානය පමණක් වැළඳවූහ. සංඝයාට සිවුරු සහිත දානයක් පිළියෙළ කළ බව දන්නා නමුත් එය ෂඩ්වර්ගික භික්ෂූන්ට දුන් බව නොදන්නා යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද, ඔවුහු “ඇවැත්නි, සංඝයාට සිවුරු පූජා කරන්න” යි මෙසේ කීහ. “ස්වාමීනි, පිළියෙළ කළ සිවුරු නැත. ෂඩ්වර්ගික ස්වාමීන් වහන්සේලා ඒ සිවුරු ෂඩ්වර්ගික ස්වාමීන් වහන්සේලාට ම දෙන්නට සැලැස්වූහ.”
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු සංඝයාට පිරිනැමීමට නියම වූ සාංඝික ලාභය දැන දැනම පුද්ගලයෙකුට හරවා දුන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ඔබ සංඝයාට පිරිනැමීමට නියම වූ සාංඝික ලාභය දැන දැනම පුද්ගලයෙකුට හරවා දුන් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ සංඝයාට පිරිනැමීමට නියම වූ සාංඝික ලාභය දැන දැනම පුද්ගලයෙකුට හරවා දෙන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අය පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සංඝයාට පිරිනැමීමට නියම වූ සාංඝික ලාභය දැන දැනම පුද්ගලයෙකුට හරවා දෙන්නේ නම්, පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යො පන යනු: යමෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛූ යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
ජානාති (දනී) නම්: තමා හෝ දනී, අන් අය හෝ ඔහුට දන්වති, නැතහොත් ඔහු ම හෝ දන්වයි.
සඞ්ඝික නම්: සංඝයාට දෙන ලද, පරිත්‍යාග කරන ලද දෙයකි.
ලාභ නම්: සිවුරු ය, පිණ්ඩපාතය (දානය) ය, සේනාසන (වාසස්ථාන) ය, ගිලන් වූවන්ට අවශ්‍ය බෙහෙත් පිරිකර ය. අවම වශයෙන් සුණු (නාන කුඩු) පිඬක් ද, දැහැටි කූරක් ද, දසි නූලක් (රෙදි කෙළවරේ නූලක්) ද ලාභ ය.
පරිණත (පිරිනැමීමට නියම වූ) නම්: ‘දෙන්නෙමු, කරන්නෙමු’ යි වචනයෙන් ප්‍රකාශ කර ඇත්තේ වෙයි. එය පුද්ගලයෙකුට හරවා දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ. පිරිනැමීමට නියම වූ දෙයක් කෙරෙහි ‘පිරිනැමීමට නියම වූ දෙයකි’ යන හැඟීමෙන් යුතුව පුද්ගලයෙකුට හරවා දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ. පිරිනැමීමට නියම වූ දෙයක් කෙරෙහි සැක සහිතව පුද්ගලයෙකුට හරවා දෙයි නම් දුක්කට ඇවැත් වේ. පිරිනැමීමට නියම වූ දෙයක් කෙරෙහි ‘පිරිනැමීමට නියම නොවූ දෙයකි’ යන හැඟීමෙන් යුතුව පුද්ගලයෙකුට හරවා දෙයි නම් ඇවැත් නැත.
සංඝයාට පිරිනැමීමට නියම වූ දෙයක් වෙනත් සංඝයාට හෝ චෛත්‍යයට හෝ හරවා දෙයි නම් දුක්කට ඇවැත් වේ. චෛත්‍යයට පිරිනැමීමට නියම වූ දෙයක් වෙනත් චෛත්‍යයකට හෝ සංඝයාට හෝ ගණයාට (භික්ෂු කණ්ඩායමකට) හෝ පුද්ගලයෙකුට හෝ හරවා දෙයි නම් දුක්කට ඇවැත් වේ. පුද්ගලයෙකුට පිරිනැමීමට නියම වූ දෙයක් වෙනත් පුද්ගලයෙකුට හෝ සංඝයාට හෝ ගණයාට හෝ චෛත්‍යයට හෝ හරවා දෙයි නම් දුක්කට ඇවැත් වේ. පිරිනැමීමට නියම නොවූ දෙයක් කෙරෙහි ‘පිරිනැමීමට නියම වූ දෙයකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. පිරිනැමීමට නියම නොවූ දෙයක් කෙරෙහි සැක සහිත නම් දුක්කට ඇවැත් වේ. පිරිනැමීමට නියම නොවූ දෙයක් කෙරෙහි ‘පිරිනැමීමට නියම නොවූ දෙයකි’ යන හැඟීමෙන් යුතු නම් ඇවැත් නැත.