6. 7. 5.
ඌනවීසතිවස්ස ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එකල රජගහ නුවර දාහත් දෙනෙකුගෙන් යුත් පිරිසක දරුවෝ යහළුවෝ වූහ. උපාලි දරුවා ඔවුන්ගේ ප්‍රධානියා විය. එකල්හි උපාලිගේ මව්පියන්ට මේ සිත ඇති විය: “කවර උපායකින් නම් උපාලි අපගේ ඇවෑමෙන් (අප මිය ගිය පසු) සැපසේ ජීවත් වන්නේත්, දුක් නොවිඳින්නේත් වේ ද?” කියා. එකල්හි උපාලිගේ මව්පියන්ට මේ සිත ඇති විය: “ඉදින් උපාලි ලිවීමේ ශිල්පය උගනී නම්, මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සැපසේ ජීවත් වන්නේත්, දුක් නොවිඳින්නේත් වෙයි” කියා. එකල්හි උපාලිගේ මව්පියන්ට මේ සිත ඇති විය: “ඉදින් උපාලි ලිවීමේ ශිල්පය උගනී නම් (අකුරු ලියන විට) ඇඟිලි රිදෙනු ඇත. ඉදින් උපාලි ගණිතය උගනී නම්, මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සැපසේ ජීවත් වන්නේත්, දුක් නොවිඳින්නේත් වෙයි” කියා. ඉක්බිති උපාලිගේ මව්පියන්ට මේ සිත ඇති විය: “ඉදින් උපාලි ගණිතය උගනී නම් (බොහෝ සේ සිතීමට සිදු වන නිසා) ඔහුගේ පපුවට දුක් වනු ඇත. ඉදින් උපාලි රූපසූත්රය (කහවණු නැවත නැවත පෙරළා බලා හඳුනාගැනීමේ ශිල්පය) උගනී නම්, මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සැපසේ ජීවත් වන්නේත්, දුක් නොවිඳින්නේත් වෙයි” කියා. එකල්හි උපාලිගේ මව්පියන්ට මේ සිත ඇති විය: “ඉදින් උපාලි රූපසූත්රය උගනී නම් ඔහුගේ ඇස් රිදෙනු ඇත.
2. මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ වනාහි සැපසේ ගත කරන ස්වභාව ඇත්තෝ ය, සැප පැවතුම් ඇත්තෝ ය, හොඳ ආහාර වළඳා සිසිල් යහන්හි සැතපෙති. ඉදින් උපාලි ශාක්‍යපුත්‍ර ශ්රමණයන් වෙත පැවිදි වන්නේ නම්, මෙසේ උපාලි අපගේ ඇවෑමෙන් සැපසේ ජීවත් වන්නේත්, දුක් නොවිඳින්නේත් වෙයි” කියා. උපාලි දරුවා මව්පියන්ගේ මේ කතාබහ ඇසුවේ ය. ඉක්බිති උපාලි දරුවා ඒ (යහළු) දරුවන් වෙත ගියේ ය. ගොස් ඒ දරුවන්ට මෙය කීවේ ය: “එන්න යහළුවනි, අපි ශාක්‍යපුත්‍ර ශ්රමණයන් වෙත පැවිදි වෙමු” කියා. “යහළුව, ඉදින් ඔබ පැවිදි වන්නේ නම්, මෙසේ අපිත් පැවිදි වෙමු” කියා (ඔවුහු කීහ).
3. ඉක්බිති ඒ දරුවෝ එකිනෙකා තම තමාගේ මව්පියන් වෙත ගොස් මෙය කීහ: “ගිහි ගෙයින් නික්ම බුද්ධ ශාසනයෙහි පැවිදි වීමට මට අවසර දෙන්න” කියා. එකල්හි ඒ දරුවන්ගේ මව්පියෝ “මේ සියලු දරුවෝ ම එක ම කැමැත්තක් ඇත්තෝ ය, යහපත් අදහස් ඇත්තෝ ය” යි සිතා අවසර දුන්හ. ඔවුහු භික්ෂූන් වෙත ගොස් පැවිද්ද ඉල්ලූහ. භික්ෂූහු ඔවුන් පැවිදි කළහ, උපසම්පදා කළහ. ඔවුහු රාත්‍රියේ පසු යාමයේ (අලුයම) නැඟිට “කැඳ දෙන්න, බත් දෙන්න, කෑම දෙන්න” යි හඬති. භික්ෂූහු මෙසේ කීහ: “ඇවැත්නි, එළිය වැටෙන තුරු ඉවසන්න. ඉදින් කැඳ ඇත්නම් බොන්න, ඉදින් බත් ඇත්නම් වළඳන්න, ඉදින් කෑම ඇත්නම් කන්න. ඉදින් කැඳ හෝ බත් හෝ කෑම හෝ නැත්නම් පිඬු පිණිස හැසිර වළඳන්න” කියා. භික්ෂූන් විසින් මෙසේ කියනු ලබද්දී ත් ඒ භික්ෂූහු “කැඳ දෙන්න, බත් දෙන්න, කෑම දෙන්න” යි හඬති ම ය. සෙනසුන්හි මළපහ ද කරති, මුත්‍රා ද කරති. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ පසු යාමයේ නැඟිට දරුවන්ගේ හඬ අසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දයෙනි, ඒ දරුවන්ගේ හඬ කුමක් ද?” කියා. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි භික්ෂු සංඝයා රැස් කරවා භික්ෂූන්ගෙන් මෙසේ විචාළ සේක: “මහණෙනි, භික්ෂූහු දැන දැන ම අවුරුදු විස්සට අඩු පුද්ගලයෙකු උපසම්පදා කරති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ දැන දැන ම අවුරුදු විස්සට අඩු පුද්ගලයෙකු කෙසේ නම් උපසම්පදා කරන්නාහු ද? මහණෙනි, අවුරුදු විස්සට අඩු පුද්ගලයා සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය නොඉවසන්නෙක් වෙයි. ඩැහැ මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව, බඩගා යන සතුන් යන මේවායේ ස්පර්ශය ද, නරක ලෙස කියන ලද, නරක ලෙස පැමිණි වචන ද, සිරුරෙහි උපන්, දුක සේ ඉවසිය යුතු, බහල වූ, තියුණු වූ, රළු වූ, නොමිහිරි වූ, සිතට අප්‍රිය වූ, ජීවිතය නසන තරම් වූ වේදනා ද නොඉවසන ස්වභාව ඇත්තෙක් වෙයි. මහණෙනි, අවුරුදු විස්සක් වූ පුද්ගලයා වනාහි සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය ඉවසන්නෙක් වෙයි. ඩැහැ මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව, බඩගා යන සතුන් යන මේවායේ ස්පර්ශය ද, නරක ලෙස කියන ලද, නරක ලෙස පැමිණි වචන ද, සිරුරෙහි උපන්, දුක සේ ඉවසිය යුතු, බහල වූ, තියුණු වූ, රළු වූ, නොමිහිරි වූ, සිතට අප්‍රිය වූ, ජීවිතය නසන තරම් වූ වේදනා ද ඉවසන ස්වභාව ඇත්තෙක් වෙයි. මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් දැන දැන ම අවුරුදු විස්සට අඩු පුද්ගලයෙකු උපසම්පදා කරයි නම්, ඒ පුද්ගලයා ද උපසම්පදාව නොලැබූවෙක් ම වෙයි. ඒ භික්ෂූහු ද ගැරහිය යුත්තෝ ය. ඒ උපාධ්‍යායයන්ට මේ පාචිත්තිය ඇවැත් වේ” යි.