6. 7. 10.
කණ්ටක ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි කණ්ටක නම් සාමණේරයෙකුට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ ය: “භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” කණ්ටක නම් සාමණේරයාට මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන් බව බොහෝ භික්ෂූහු ඇසූහ: “භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” එවිට ඒ භික්ෂූහු කණ්ටක සාමණේරයා වෙත ගියහ. ගොස් කණ්ටක සාමණේරයාට මෙය කීහ: “ඇවැත්නි කණ්ටක, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ’ යන මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන් බව සැබෑ ද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.”
2. “ඇවැත්නි කණ්ටක, මෙසේ නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට නුගුණ නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට නුගුණ කීම යහපත් නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කිසිසේත් නොවදාරන සේක. ඇවැත්නි කණ්ටක, අන්තරාය කරන ධර්ම අන්තරාය කරන ඒවා යැයි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් වදාළ සේක. ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් වන්නේ ම ය. ‘කාමයෝ සුළු ආශ්වාදයක් ඇත්තෝ ය, බොහෝ දුක් ඇත්තෝ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තෝ ය, මෙහි ආදීනවය (නපුරු විපාකය) බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘බොහෝ දුක් ඇති, බොහෝ දැඩි වෙහෙස ඇති කාමයෝ ඇට සැකිල්ලක් වැනි ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. -පෙ-
‘බොහෝ දුක් ඇති, බොහෝ දැඩි වෙහෙස ඇති කාමයෝ සර්පයෙකුගේ හිස වැනි ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.” ඒ භික්ෂූන් මෙසේ කියද්දීත් කණ්ටක සාමණේරයා ඒ ලාමක දෘෂ්ටිය එලෙස ම දැඩි ලෙස අල්වාගෙන, (එයට) බැසගෙන මෙසේ කියයි: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.”
3. කණ්ටක සාමණේරයා මේ ලාමක දෘෂ්ටියෙන් වෙන් කරන්නට ඒ භික්ෂූන්ට නොහැකි වූ බැවින්, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි භික්ෂු සංඝයා රැස් කරවා කණ්ටක සාමණේරයාගෙන් විචාළ සේක: “කණ්ටක, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ’ යන මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන් බව සැබෑ ද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.”
4. “හිස් පුරුෂය, මා කවරෙකුට නම් ධර්මය එසේ දේශනා කළ බව ඔබ දන්නෙහි ද? හිස් පුරුෂය, අන්තරාය කරන ධර්ම අන්තරාය කරන ඒවා යැයි මා නොයෙක් ආකාරයෙන් දේශනා කළේ නැද්ද? ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් වන්නේ නොවේ ද? ‘කාමයෝ සුළු ආශ්වාදයක් ඇත්තෝ ය, බොහෝ දුක් ඇත්තෝ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තෝ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි මා දේශනා කළෙමි. ‘කාමයෝ ඇට සැකිල්ලක් වැනි ය’ යි මා දේශනා කළෙමි. -පෙ- ‘බොහෝ දුක් ඇති, බොහෝ දැඩි වෙහෙස ඇති කාමයෝ සර්පයෙකුගේ හිස වැනි ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි මා දේශනා කළෙමි. එසේ වුවත් හිස් පුරුෂය, ඔබ තමා වරදවා ගත් දෘෂ්ටියෙන් අපට ද නුගුණ කියන්නෙහි ය, තමාගේ ගුණ ද නසා ගන්නෙහි ය, බොහෝ පව් ද රැස් කරන්නෙහි ය. හිස් පුරුෂය, එය ඔබට බොහෝ කලක් අහිත පිණිස, දුක පිණිස පවතින්නේ ය. හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ-” මෙසේ ගරහා ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, සංඝයා කණ්ටක සාමණේරයා (දඬුවමක් වශයෙන් සසුනෙන්) නෙරපා හරීවා. මහණෙනි, මෙසේ නෙරපා හැරිය යුතු ය: ‘ඇවැත්නි කණ්ටක, අද පටන් ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශාස්තෘන් වහන්සේ යැයි කිසිසේත් නොකිය යුතු ය. අනෙක් සාමණේරයන් භික්ෂූන් සමඟ දෙතුන් රැයක් එකට නිදා ගැනීමට ලබත් ද, එසේ එකට නිදා ගැනීම ද ඔබට නැත. අපට අයත් නොවූ පිටස්තරයෙනි, යව, ඈතට ගොස් නොපෙනී යව’ යි.” එවිට සංඝයා කණ්ටක සාමණේරයා නෙරපා හැරියේ ය.