6. 6. 1.
සුරාපාන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චේතිය ජනපදයෙහි චාරිකාවේ වඩිමින් භද්දවතිකා (හොඳ වැටකින් වට වූ නිසා මේ නම ලැබූ ගමකි) නම් ගම බලා වැඩම කළ සේක. ගව පාලකයෝ, සත්ව පාලකයෝ, ගොවියෝ, මඟීහු වඩින භාග්‍යවතුන් වහන්සේ දුර සිටම දුටුවෝය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීවෝය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්ථයට නොවඩින සේක්වා. ස්වාමීනි, අම්බතීර්ථයෙහි ජටිලයාගේ (ජටා දරන තවුසාගේ) අසපුවෙහි සෘද්ධි බලය ඇති, දළ විෂ ඇති, දරුණු විෂ ඇති නාගයෙක් වාසය කරයි. ඔහු භාග්‍යවතුන් වහන්සේට හිරිහැර නොකෙරේවා.” මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක. දෙවෙනි වරටත් -පෙ- තෙවෙනි වරටත් ගව පාලකයෝ, සත්ව පාලකයෝ, ගොවියෝ, මඟීහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවෝය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්ථයට නොවඩින සේක්වා. ස්වාමීනි, අම්බතීර්ථයෙහි ජටිලයාගේ අසපුවෙහි සෘද්ධි බලය ඇති, දළ විෂ ඇති, දරුණු විෂ ඇති නාගයෙක් වාසය කරයි. ඔහු භාග්‍යවතුන් වහන්සේට හිරිහැර නොකෙරේවා.” තෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවේ වඩිමින් භද්දවතිකා නම් ගමට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ භද්දවතිකා ගමෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ අම්බතීර්ථයෙහි ජටිලයාගේ අසපුවට වැඩම කළේය. වැඩම කොට ගිනිහල් ගෙට ඇතුළු වී තණකොළ ඇතිරියක් එළා, පළඟ බැඳගෙන, උඩු කය කෙළින් තබාගෙන, භාවනා අරමුණට අභිමුඛව සිහිය පිහිටුවාගෙන වැඩ හුන්නේය. එවිට ඒ නාගයා ඇතුළු වූ ආයුෂ්මත් සාගත තෙරුන් දැක, දුකට පත් වී, නොසතුටු වී දුම් පිට කළේය. ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ ද දුම් පිට කළේය. එවිට ඒ නාගයා ක්‍රෝධය නොඉවසා ගිනිදැල් නංවමින් දිලිසුණේය. ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ ද තේජෝ ධාතුවට (ගිනි ධාතුව අරමුණු කළ සමාපත්තියට) සමවැදී ගිනිදැල් නංවමින් දිලිසුණේය. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ ඒ නාගයාගේ තේජස තමාගේ තේජසින් (බලයෙන්) මැඩගෙන භද්දවතිකා ගමට වැඩම කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භද්දවතිකා ගමෙහි කැමති තාක් කල් වැඩ වාසය කොට කොසඹෑ නුවර බලා චාරිකාවේ වැඩම කළ සේක. කොසඹෑ නුවර උපාසකවරු “ආර්ය සාගත ස්ථවිරයන් වහන්සේ අම්බතීර්ථයේ නාගයා සමඟ යුද කළේලු” යි ඇසූහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවේ වඩිමින් කොසඹෑ නුවරට වැඩම කළ සේක. එකල කොසඹෑ නුවර උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට පෙරටු ගොස්, ආයුෂ්මත් සාගත තෙරුන් වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාගත තෙරුන්ට වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි කොසඹෑ නුවර උපාසකවරු ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහ: “ස්වාමීනි, ආර්යයන් වහන්සේලාට ලැබීමට දුර්ලභ වූත්, සිතට ප්‍රිය වූත් දෙය කුමක් ද? අපි කුමක් පිළියෙළ කරමු ද?” මෙසේ කී විට ෂඩ්වර්ගික භික්ෂූන් කොසඹෑ නුවර උපාසකවරුන්ට මෙය කීහ: “ඇවැත්නි, භික්ෂූන්ට දුර්ලභ වූත්, සිතට ප්‍රිය වූත් කාපෝතිකා (පරෙවි පාදයේ පාටට සමාන රතු පැහැයක් ඇති) නම් සුරාමණ්ඩයක් (පැහැදිලි මත්පැනක්) ඇත. එය පිළියෙළ කරන්න.” එකල කොසඹෑ නුවර උපාසකවරු ගෙයක් ගෙයක් පාසා කාපෝතිකා සුරාමණ්ඩය පිළියෙළ කොට, ආයුෂ්මත් සාගත තෙරුන් පිණ්ඩපාතයේ වඩිනු දැක, ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහ: “ස්වාමීනි, ආර්ය සාගතයන් වහන්සේ කාපෝතිකා සුරාමණ්ඩය පානය කරන සේක්වා. ස්වාමීනි, ආර්ය සාගතයන් වහන්සේ කාපෝතිකා සුරාමණ්ඩය පානය කරන සේක්වා.” එකල ආයුෂ්මත් සාගත තෙරුන් ගෙයක් ගෙයක් පාසා කාපෝතිකා සුරාමණ්ඩය පානය කොට, නුවරින් නික්මෙන විට නුවර දොරටුව ළඟ වැටුණේය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ නුවරින් නික්මෙන විට නුවර දොරටුව ළඟ වැටී සිටි ආයුෂ්මත් සාගත තෙරුන් දුටු සේක. දැක “මහණෙනි, සාගතයන් ඔසවාගෙන යන්න” යි භික්ෂූන් ඇමතූ සේක. “එසේය, ස්වාමීනි” යි ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ සිටි දෙසට හිස සිටින සේ හොවා තැබූහ. එවිට ආයුෂ්මත් සාගත තෙරුන් පෙරළී භාග්‍යවතුන් වහන්සේ සිටි දෙසට පාද දිගු කොට නිදාගත්තේය. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පෙර සාගත භික්ෂුව තථාගතයන් කෙරෙහි ගෞරවයෙන් යුක්ත වූයේ, බුහුමනින් යුක්ත වූයේ නොවේද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, සාගත භික්ෂුව දැන් තථාගතයන් කෙරෙහි ගෞරවයෙන් යුක්ත වූයේ, බුහුමනින් යුක්ත වූයේ වේද?”
“එය එසේ නොවේමය, ස්වාමීනි.”
“මහණෙනි, සාගත භික්ෂුව අම්බතීර්ථයෙහි වාසය කළ නාගයා සමඟ යුද කළේ නොවේද?”
“එසේය, ස්වාමීනි.”