මහා ඛන්ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා ගං ඉවුර අසල වූ බෝ රුක මුල, අභිසම්බෝධියට පැමිණ (බුදු වී) පළමු වරට වැඩ වසන සේක.
2. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝ රුක මුල සත් දවසක් මුළුල්ලේ විමුක්ති සුවය (ඵල සමාපත්ති සුවය) විඳිමින්, එක ම පළඟින් (වරක්වත් නොනැගිට, බැඳගත් පළඟ නොලිහා) වැඩ හුන් සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ පළමු යාමය මුළුල්ලේ පටිච්චසමුප්පාදය (හේතුවලින් ධර්ම හටගන්නා ආකාරය) අනුලෝම ප්‍රතිලෝම වශයෙන් (මුල සිට අගටත්, අග සිට මුලටත්) මෙනෙහි කළ සේක.
4. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වේ. විඥානය හේතුවෙන් නාමය ද, රූපය ද, නාමරූප දෙක ද ඇති වේ. නාමරූප හේතුවෙන් සළායතනය (ආයතන හය) ඇති වේ. සළායතනය හේතුවෙන් ස්පර්ශය ඇති වේ. ස්පර්ශය හේතුවෙන් වේදනාව ඇති වේ. වේදනාව හේතුවෙන් තෘෂ්ණාව ඇති වේ. තෘෂ්ණාව හේතුවෙන් උපාදානය (තදින් අල්ලා ගැනීම) ඇති වේ. උපාදානය හේතුවෙන් භවය ඇති වේ. භවය හේතුවෙන් ජාතිය (ඉපදීම) ඇති වේ. ජාතිය හේතුවෙන් ජරා (දිරීම), මරණය, ශෝකය, වැළපීම, කායික දුක, දොම්නස, දැඩි වෙහෙස (උපායාස) හටගනී. මෙසේ දුක ම පමණක් වූ මේ දුක් රැසේ හටගැනීම වේ.
5. අවිද්‍යාව ම කිසිවක් ඉතිරි නොවන සේ විරාගය (ආර්ය මාර්ගය) නම් වූ නිරෝධයෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ (නැවත නොහටගනී). සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ. නාමරූප නිරුද්ධ වීමෙන් සළායතනය නිරුද්ධ වේ. සළායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණය, ශෝකය, වැළපීම, කායික දුක, දොම්නස, දැඩි වෙහෙස නිරුද්ධ වේ. මෙසේ දුක ම පමණක් වූ මේ දුක් රැසේ නිරුද්ධ වීම (නැවත නොහටගැනීම) වේ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවේ මේ ප්‍රීති වාක්‍යය (උදානය) වදාළ සේක:–
“කෙලෙස් තවන වීර්යයෙන් යුත්, ධ්‍යාන කරන, පව් බැහැර කළ රහතන් වහන්සේට යම් කලෙක හේතු ප්‍රත්‍යය ධර්ම පැහැදිලි ව වැටහේ ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාව ආදී හේතුවලින් හටගත් ධර්මය දනිති. එහෙයින් ඒ රහතන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ මැද යාමය මුළුල්ලේ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වේ. විඥානය හේතුවෙන් නාමරූප ඇති වේ. නාමරූප හේතුවෙන් සළායතනය ඇති වේ. -පෙ- මෙසේ දුක ම පමණක් වූ මේ දුක් රැසේ හටගැනීම වේ. -පෙ- නිරුද්ධ වීම වේ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවේ මේ ප්‍රීති වාක්‍යය වදාළ සේක:–
“කෙලෙස් තවන වීර්යයෙන් යුත්, ධ්‍යාන කරන, පව් බැහැර කළ රහතන් වහන්සේට යම් කලෙක හේතු ප්‍රත්‍යය ධර්ම පැහැදිලි ව වැටහේ ද, එකල්හි අවිද්‍යාව ආදී හේතු ක්ෂය වීම (නැති වීම) දැනගත් හෙයින් ඒ රහතන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ අවසාන යාමය මුළුල්ලේ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇති වේ. විඥානය හේතුවෙන් නාමරූප ඇති වේ. නාමරූප හේතුවෙන් සළායතනය ඇති වේ. -පෙ- මෙසේ දුක ම පමණක් වූ මේ දුක් රැසේ හටගැනීම වේ. -පෙ- නිරුද්ධ වීම වේ.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවේ මේ ප්‍රීති වාක්‍යය වදාළ සේක:–
“කෙලෙස් තවන වීර්යයෙන් යුත්, ධ්‍යාන කරන, පව් බැහැර කළ රහතන් වහන්සේට යම් කලෙක හේතු ප්‍රත්‍යය ධර්ම පැහැදිලි ව වැටහේ ද, එකල්හි ඒ රහතන් වහන්සේ අහස බබුළුවන හිරු මෙන්, මාර සේනාව පලවා හරිමින් සිටින සේක.”
බෝධි කථාව නිමි.