6.
සේනාසනක්ඛන්ධකය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර අසල, (ලේනුන්ට ආහාර දුන් තැන වූ බැවින්) කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට සෙනසුන් (වාසස්ථාන) අනුදැන වදාරා නොතිබිණ. ඒ භික්ෂූහු ද වනයෙහි ද, ගස් මුල්හි ද, පර්වතයෙහි ද, කඳුරුවල ද, ගල් ලෙන්වල ද, සොහොනෙහි ද, වන ලැහැබෙහි ද, එළිමහනෙහි ද, පිදුරු ගොඩවල ද යන ඒ ඒ තැන්වල වාසය කරති. ඔවුහු දුටුවන් පහදවන ඉදිරියට යාමෙන් ද, ආපසු යාමෙන් ද, ඉදිරිය බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, අත් පා දිගහැරීමෙන් ද යුක්තව, බිමට හෙළූ ඇස් ඇතිව, මනා ඉරියව්වෙන් යුක්තව, උදෑසනම වනයෙන් ද, ගස් මුලින් ද, පර්වතයෙන් ද, කඳුරෙන් ද, ගල් ලෙනින් ද, සොහොනින් ද, වන ලැහැබෙන් ද, එළිමහනින් ද, පිදුරු ගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මෙති.
2. ඒ කාලයෙහි රජගහ නුවර (ප්‍රධාන) සිටුවරයා උදෑසනම (තමාගේ) උයනට ගියේ ය. රජගහ සිටුවරයා, දුටුවන් පහදවන ඉදිරියට යාමෙන් ද, ආපසු යාමෙන් ද, ඉදිරිය බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, අත් පා දිගහැරීමෙන් ද යුක්තව, බිමට හෙළූ ඇස් ඇතිව, මනා ඉරියව්වෙන් යුක්තව, උදෑසනම වනයෙන් ද, ගස් මුලින් ද, පර්වතයෙන් ද, කඳුරෙන් ද, ගල් ලෙනින් ද, සොහොනින් ද, වන ලැහැබෙන් ද, එළිමහනින් ද, පිදුරු ගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මෙන ඒ භික්ෂූන් දුටුවේ ය. දැකීමෙන් ඔහුගේ සිත පැහැදුණි. එවිට රජගහ සිටුවරයා ඒ භික්ෂූන් වෙත ගියේ ය. ගොස් “ස්වාමීනි, මා විහාර කරවුවහොත් ඔබ වහන්සේලා මගේ විහාරවල වසන සේක් ද?” යි මෙසේ කීවේ ය.
3. “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදැන වදාරා නැත” යි (ඒ භික්ෂූහු කීහ.) “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරා මට දන්වන සේක්වා” යි සිටුවරයා කීවේ ය.
“එසේ ය, ගෘහපතිය” යි ඒ භික්ෂූහු රජගහ සිටුවරයාට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්හ. එක් පසෙක හුන් ඒ භික්ෂූහු “ස්වාමීනි, රජගහ සිටුවරයා විහාර කරවන්නට කැමැත්තේ ය. ස්වාමීනි, (මෙහිදී) කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මෙය කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිදුවීමෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා, “මහණෙනි, විහාරය ද, ගුරුළු පියාපත් වැනි (නැමුණු) වහලක් ඇති ගෙය (අඩ්ඪයෝගය) ද, දිගු ප්‍රාසාදය (පාසාදය) ද, උඩ විවෘත තලයක කුළු ගෙයක් ඇති ප්‍රාසාදය (හම්මිය) ද, ගුහාව ද යන ලෙන් (වාසස්ථාන) පහ අනුමත කරමි” යි වදාළ සේක.
එවිට ඒ භික්ෂූහු රජගහ සිටුවරයා වෙත ගියහ. ගොස් රජගහ සිටුවරයාට, “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාර අනුදැන වදාරන ලදී. ඔබ යමක් සඳහා අපෙන් විචාළේ ද, එයට දැන් කාලය යැයි දැනගන්න” යි කීහ. එවිට රජගහ සිටුවරයා එක් දවසින්ම විහාර හැටක් පිහිටුවී ය.
4. එවිට රජගහ සිටුවරයා ඒ විහාර හැට නිම කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්තේ ය. එක් පසෙක හුන් රජගහ සිටුවරයා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දිනයට මාගේ දානය ඉවසන සේක්වා (පිළිගන්නා සේක්වා)” යි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේ ය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව සිටීමෙන් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහ සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ ඉවසූ බව දැන, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට පිටත්ව ගියේ ය.
ඉක්බිති රජගහ සිටුවරයා ඒ රාත්‍රිය ඇවෑමෙන් කෑ යුතු, අනුභව කළ යුතු ප්‍රණීත ආහාර පිළියෙළ කරවා, “ස්වාමීනි, (වඩින්නට) කාලය යි. දානය පිළියෙළ කර නිමවිණ” යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන රජගහ සිටුවරයාගේ නිවස වෙත වැඩි සේක. වැඩම කොට පනවන ලද අසුනෙහි භික්ෂු සංඝයා සමඟ වැඩ හුන් සේක. එවිට රජගහ සිටුවරයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට කෑ යුතු, අනුභව කළ යුතු ප්‍රණීත ආහාර සියතින්ම පිළිගන්වා සෑහීමට පත් කොට, (තවත් එපා යැයි) පවරවා, වළඳා අවසන් කොට පාත්‍රයෙන් අත ඉවත් කළ භාග්‍යවතුන් වහන්සේ වෙත එක් පසෙක හිඳගත්තේ ය. එක් පසෙක හුන් රජගහ සිටුවරයා “ස්වාමීනි, පින් කැමැති, ස්වර්ග සැප පතන මා විසින් මේ විහාර හැට කරවන ලදී. ස්වාමීනි, ඒ විහාර සම්බන්ධයෙන් මා කෙසේ පිළිපැදිය යුතු දැ?” යි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේ ය.
“ගෘහපතිය, එසේ නම් ඔබ ඒ විහාර හැට, පැමිණි සහ නොපැමිණි සතර දිශාවේ සංඝයාට පිහිටුවන්න (පිරිනමන්න)” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“එසේ ය, ස්වාමීනි” යි රජගහ සිටුවරයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඒ විහාර හැට පැමිණි සහ නොපැමිණි සතර දිශාවේ සංඝයාට පිරිනැමුවේ ය.
5. එවිට භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුවරයාට මේ ගාථාවලින් අනුමෝදනා කොට වදාළ සේක. (ගාථාවල අදහස:)
“විහාරය සීතලත් උෂ්ණයත් වළක්වයි. ඊට අමතරව චණ්ඩ සතුන් ද, බඩගා යන සතුන් ද, මැසි මදුරුවන් ද, සීතල සුළං ද, වැසි ද දුරු කරයි.
ඊට අමතරව හටගන්නා නපුරු අව් සුළං ද (විහාරය නිසා) දුරු වෙයි. හුදෙකලාව හිඳීම පිණිසත්, (සීතල ආදී කරදර නැතිව) සැපසේ වාසය කිරීම පිණිසත්, ධ්‍යාන වැඩීමටත්, විදර්ශනා වැඩීමටත් (විහාරය උපකාර වේ).