1. සම්මුඛාවිනය
ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටුතුමාගේ දෙව්රම් (ජේතවන) ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ෂඩ්වර්ගික (සවග) භික්ෂූහු ඉදිරියේ නොසිටින භික්ෂූන්ට තජ්ජනීය ද, නියස්ස ද, පබ්බාජනීය ද, පටිසාරණීය ද, උක්ඛේපනීය ද යන කර්ම කරති. අල්පේච්ඡ (ආශා අඩු) වූ, ලද දෙයින් සතුටු වූ, පවට ලැජ්ජා ඇති, වරදට බිය ඇති, ශික්ෂාවට කැමති යම් භික්ෂූහු වෙත් ද, ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරියේ නොසිටින භික්ෂූන්ට තජ්ජනීය කර්මයත්, නියස්ස කර්මයත්, පබ්බාජනීය කර්මයත්, පටිසාරණීය කර්මයත්, උක්ඛේපනීය කර්මයත් කරන්නෝ ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි භික්ෂු සංඝයා රැස් කරවා භික්ෂූන්ගෙන් විචාළ සේක:
“මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂූහු ඉදිරියේ නොසිටින භික්ෂූන්ට තජ්ජනීය කර්මයත්, නියස්ස කර්මයත්, පබ්බාජනීය කර්මයත්, පටිසාරණීය කර්මයත්, උක්ඛේපනීය කර්මයත් කරති යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ මේ ක්‍රියාව නුසුදුසු ය, අනුකූල නොවේ, නොගැළපේ, මහණකමට නොසුදුසු ය, අකැප ය, නොකළ යුත්තකි. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ ඉදිරියේ නොසිටින භික්ෂූන්ට තජ්ජනීය කර්මයත්, නියස්ස කර්මයත්, පබ්බාජනීය කර්මයත්, පටිසාරණීය කර්මයත්, උක්ඛේපනීය කර්මයත් කරන්නෝ ද? මහණෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස නොවේ. -පෙ-” මෙසේ ගරහා -පෙ- ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක:
“මහණෙනි, ඉදිරියේ නොසිටින භික්ෂූන්ට තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපනීය හෝ කර්මය නොකළ යුතු ය. යමෙක් කරන්නේ නම් ඔහුට දුක්කට ඇවැත් වේ.”
අධර්මවාදී නවකය:
අධර්මවාදී (අධර්මය ධර්මය යැයි කියන) පුද්ගලයා ය, අධර්මවාදී බොහෝ භික්ෂූහු ය, අධර්මවාදී සංඝයා ය, ධර්මවාදී (ධර්මය ම කියන) පුද්ගලයා ය, ධර්මවාදී බොහෝ භික්ෂූහු ය, ධර්මවාදී සංඝයා ය (යන මාතෘකා හයකි.)
1. අධර්මවාදී පුද්ගලයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී පුද්ගලයාට හඟවයි (කරුණු සේ පෙනෙන දේ කියා සතුටු කරවා දන්වයි), සිතවයි (ඒ කරුණ ගැන සිතා බලන සේ කරයි), දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය (විසඳිය යුතු ආරවුල) සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
2. අධර්මවාදී පුද්ගලයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී බොහෝ භික්ෂූන්ට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
3. අධර්මවාදී පුද්ගලයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී සංඝයාට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
4. අධර්මවාදී බොහෝ භික්ෂූහු “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී පුද්ගලයාට හඟවති, සිතවති, දක්වති, නැවත නැවත දක්වති, පෙන්වති, නැවත නැවත පෙන්වති. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
5. අධර්මවාදී බොහෝ භික්ෂූහු “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී බොහෝ භික්ෂූන්ට හඟවති, සිතවති, දක්වති, නැවත නැවත දක්වති, පෙන්වති, නැවත නැවත පෙන්වති. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
6. අධර්මවාදී බොහෝ භික්ෂූහු “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී සංඝයාට හඟවති, සිතවති, දක්වති, නැවත නැවත දක්වති, පෙන්වති, නැවත නැවත පෙන්වති. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
7. අධර්මවාදී සංඝයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී පුද්ගලයාට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
8. අධර්මවාදී සංඝයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී බොහෝ භික්ෂූන්ට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
9. අධර්මවාදී සංඝයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි ධර්මවාදී සංඝයාට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනයට සමාන ලෙස පෙනෙන අධර්මයකින් සංසිඳෙයි.
අධර්මවාදී නවකය නිමි.
ධර්මවාදී නවකය
1. ධර්මවාදී පුද්ගලයා “මේ ධර්මය ය, මේ විනය ය, මේ ශාස්තෘ ශාසනය ය, මෙය ගන්න, මෙය රුචි කරන්න” යි අධර්මවාදී පුද්ගලයාට හඟවයි, සිතවයි, දක්වයි, නැවත නැවත දක්වයි, පෙන්වයි, නැවත නැවත පෙන්වයි. මෙසේ ඒ අධිකරණය සංසිඳේ නම්, එය සම්මුඛාවිනය වූ ධර්මයෙන් සංසිඳෙයි.