3. පරිවාසිකයන් පිළිබඳ හතළිහ (චත්තාළීසකය)
1. එකල එක්තරා භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී සිවුරු හැර ගියේ ය. ඔහු නැවත පැමිණ භික්ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලී ය. භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
2. (1) “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී ගිහි බවට පෙරළෙයි ද, මහණෙනි, ගිහි බවට පෙරළුණු තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඒ භික්ෂුව නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි පරිවාසය පිරිය යුතු ය.
(2) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී සාමණේර බවට පැමිණේ ද, මහණෙනි, සාමණේරයාට පරිවාසය නොයෙදේ. ඉදින් ඔහු නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි පරිවාසය පිරිය යුතු ය.
3. (3) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී උමතු වේ ද, මහණෙනි, උමතු වූ තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඔහු නැවත උමතු බවින් මිදේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි පරිවාසය පිරිය යුතු ය.
(4) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී සිත කැළඹී ගිය කෙනෙක් වේ ද, මහණෙනි, සිත කැළඹී ගිය තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඒ භික්ෂුව නැවත සාමාන්‍ය සිතක් ඇත්තෙක් වේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි කාලය පරිවාසය පිරිය යුතු ය.
(5) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද, මහණෙනි, වේදනාවෙන් පෙළෙන තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඔහු නැවත වේදනාවෙන් නොපෙළෙන්නෙක් වේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. -පෙ-
4. (6) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී ඇවැත නොදැකීම නිසා උක්ඛේපනීය කර්මය (සංඝයාගෙන් ඉවත් කිරීමේ දඬුවම) කරනු ලැබේ ද, මහණෙනි, උක්ඛේපනීය කර්මය කරනු ලැබූ තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඔහු නැවත සංඝයාට ඇතුළත් කර ගනු ලැබේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. -පෙ-
(7) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී ඇවැතට පිළියම් නොකිරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, මහණෙනි, උක්ඛේපනීය කර්මය කරනු ලැබූ තැනැත්තාට පරිවාසය නොයෙදේ. -පෙ-
(8) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පරිවාසය පුරමින් සිටියදී පාපී මතය අත් නොහැරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, මහණෙනි, උක්ඛේපනීය කර්මය කරනු ලැබූ තැනැත්තාට පරිවාසය නොයෙදේ. ඉදින් ඔහු නැවත සංඝයාට ඇතුළත් කර ගනු ලැබේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි කාලය පරිවාසය පිරිය යුතු ය.
5. (9-16) මහණෙනි, මේ ශාසනයෙහි මුල් ඇවැතට නැවත ඇදීමට (මූලාය පටිකස්සනයට) සුදුසු වූ භික්ෂුවක් සිවුරු හැර යයි ද, මහණෙනි, සිවුරු හැර ගිය තැනැත්තාට මූලාය පටිකස්සනය නොයෙදේ. ඉදින් ඔහු නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඒ භික්ෂුව මුල් ඇවැතට ඇදිය යුතු ය. මහණෙනි, මේ ශාසනයෙහි මූලාය පටිකස්සනයට සුදුසු වූ භික්ෂුවක් සාමණේරයෙක් වේ ද, -පෙ- උමතුවෙක් වේ ද, -පෙ- සිත කැළඹී ගිය කෙනෙක් වේ ද, -පෙ- වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද, -පෙ- ඇවැත නොදැකීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, -පෙ- ඇවැතට පිළියම් නොකිරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, -පෙ- පාපී මතය අත් නොහැරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, මහණෙනි, උක්ඛේපනීය කර්මය කරනු ලැබූ තැනැත්තාට මූලාය පටිකස්සනය නොයෙදේ. ඉදින් ඔහු නැවත සංඝයාට ඇතුළත් කර ගනු ලැබේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඒ භික්ෂුව මුල් ඇවැතට ඇදිය යුතු ය.
6. (17-24) මහණෙනි, මේ ශාසනයෙහි මානත්තය පිරීමට සුදුසු වූ භික්ෂුවක් සිවුරු හැර යයි ද, මහණෙනි, සිවුරු හැර ගිය තැනැත්තාට මානත්තය දීම නොයෙදේ. ඉදින් ඔහු නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඒ භික්ෂුවට මානත්තය දිය යුතු ය. මහණෙනි, මේ ශාසනයෙහි මානත්තය පිරීමට සුදුසු වූ භික්ෂුවක් සාමණේරයෙක් වේ ද, -පෙ- උමතුවෙක් වේ ද, -පෙ- සිත කැළඹී ගිය කෙනෙක් වේ ද, -පෙ- වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද, -පෙ- ඇවැත නොදැකීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, -පෙ- ඇවැතට පිළියම් නොකිරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, -පෙ- පාපී මතය අත් නොහැරීම නිසා උක්ඛේපනීය කර්මය කරනු ලැබේ ද, මහණෙනි, උක්ඛේපනීය කර්මය කරනු ලැබූ තැනැත්තාට මානත්තය දීම නොයෙදේ. ඉදින් ඔහු නැවත සංඝයාට ඇතුළත් කර ගනු ලැබේ ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. ඒ භික්ෂුවට මානත්තය දිය යුතු ය.
7. (25) මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මානත්තය පුරමින් සිටියදී සිවුරු හැර යයි ද, මහණෙනි, සිවුරු හැර ගිය තැනැත්තාට මානත්තය පිරීම නොයෙදේ. ඉදින් ඔහු නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට කලින් දුන් ඒ පරිවාසය දීම එසේ ම පවතී. යම් පරිවාසයක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පරිවාසයක් පිරුවේ ද, එය මනාව පුරන ලද්දකි. යම් මානත්තයක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානත්තයක් පුරන ලද ද, එය මනාව පුරන ලද්දකි. ඉතිරි කොටස පිරිය යුතු ය.