5. අබ්භානාරහ වත (අබ්භානයට සුදුසු භික්ෂුවගේ වත)
1. එකල අබ්භානයට (සංඝයා විසින් ඇවැතින් නගා සිටුවා නැවත පිරිසිදු භික්ෂුවක් ලෙස පිළිගැනීමට) සුදුසු භික්ෂූහු පකතත්ත (ඇවැතකින් තොර, පිරිසිදු) භික්ෂූන් තමන්ට කරන වැඳීම, දැක අසුනෙන් නැගිට සිටීම, ඇඳිලි බැඳීම (දොහොත් එක් කොට වැඳීම), සාමීචි කර්මය (ගෞරවයෙන් කරන සුදුසු වත්), අසුන් ගෙනවිත් දීම, යහන් ගෙනවිත් දීම, පා සෝදන දිය ගෙනවිත් දීම, පා පුටුව ගෙනවිත් දීම, පා අතුල්ලන කටුව ගෙනවිත් දීම, පාත්‍ර සිවුරු පිළිගැනීම, නාන විට පිට ඇඹීම යන මේ වත් පිළිගනිති. අල්පේච්ඡ (ආශා අඩු), ලද දෙයින් සතුටු වන, ලැජ්ජා ඇති, වරදට බිය ඇති, ශික්ෂාවට කැමති යම් භික්ෂු කෙනෙක් වූවාහු ද, ඔවුහු “කෙසේ නම් අබ්භානයට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන්ගේ වැඳීම, අසුනෙන් නැගිට සිටීම -පෙ- නාන විට පිට ඇඹීම පිළිගන්නාහු ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
2. ඉක්බිති ඒ භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. එකල භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි භික්ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන්ගේ වැඳීම, අසුනෙන් නැගිට සිටීම -පෙ- නාන විට පිට ඇඹීම පිළිගනිති යනු සැබෑ ද?” යි භික්ෂූන්ගෙන් විචාළ සේක. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඔවුහු කීහ. “මහණෙනි, කෙසේ නම් අබ්භානයට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන්ගේ වැඳීම, අසුනෙන් නැගිට සිටීම -පෙ- නාන විට පිට ඇඹීම පිළිගන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ -පෙ- නොවේ” යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගැරහූ සේක. ගරහා ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක:
3. “මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂුව පකතත්ත භික්ෂූන්ගේ වැඳීම, දැක අසුනෙන් නැගිට සිටීම -පෙ- නාන විට පිට ඇඹීම නොපිළිගත යුතු ය. යමෙක් පිළිගන්නේ නම්, ඔහුට දුක්කට ඇවැත් වේ.
4. මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂූන්ට එකිනෙකා අතර වැඩිමහලු පිළිවෙළින් වැඳීම, දැක අසුනෙන් නැගිට සිටීම -පෙ- නාන විට පිට ඇඹීම අනුමත කරමි.
5. මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂූන්ට වැඩිමහලු පිළිවෙළින් පොහොය කිරීම, පවාරණය, වැසි සළු පිළිගැනීම, පසුව පිළිගැනීම පිණිස එදිනට නියමිත බත අත්හැරීම, චතුශ්ශාලාවේ (දන් ශාලාවේ) බෙදන බත පිළිගැනීම යන කරුණු පහ අනුමත කරමි.
6. එහෙයින් මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂූන් පැවතිය යුතු ආකාරයට ඔවුන්ට වත් පනවන්නෙමි.
7. මහණෙනි, අබ්භානාරහ (අබ්භානයට සුදුසු) භික්ෂුව මනාව පැවතිය යුතු ය. එහි මනා පැවැත්ම මෙය යි: තමා උපාධ්‍යාය වී උපසම්පදා නොකළ යුතු ය -පෙ- භික්ෂූන් සමඟ කලහ නොකළ යුතු ය. [මූලායපටිකස්සනාරහ (නැවත මුල සිට පිරීමට සුදුසු) භික්ෂුවගේ වත යම් සේ ද, මානත්තාරහ (මානත්තයට සුදුසු) භික්ෂුවගේත්, මානත්තචාරික (මානත්තය පුරන) භික්ෂුවගේත්, අබ්භානාරහ භික්ෂුවගේත් යන තිදෙනාගේ වත ද එසේ ම එක සමාන ලෙස විස්තර කළ යුතු ය.]
8. මහණෙනි, අබ්භානයට සුදුසු භික්ෂුව පකතත්ත භික්ෂුවට ඉදිරියෙන් නොයා යුතු ය. ඉදිරියෙන් වාඩි නොවිය යුතු ය. සංඝයාගේ යම් අන්තිම අසුනක්, අන්තිම යහනක්, අන්තිම විහාරයක් වේ ද, එය ඔහුට දිය යුතු ය. ඔහු ද එය පිළිගත යුතු ය.
9. මහණෙනි, අබ්භානාරහ භික්ෂුව පකතත්ත භික්ෂුවක් සමඟ පෙරමහණ (ඉදිරියෙන් යන භික්ෂුව) වී හෝ පසුමහණ (පසුපසින් යන භික්ෂුව) වී හෝ ගෙවල් කරා නොයා යුතු ය. ආරඤ්ඤිකාංගය (වනයේ වාසය කිරීමේ ධුතාංගය) සමාදන් නොවිය යුතු ය. පිණ්ඩපාතිකාංගය (පිඬු සිඟා වැඩීමෙන් පමණක් යැපීමේ ධුතාංගය) සමාදන් නොවිය යුතු ය. ‘මා ගැන අන් අය නොදනිත්වා’ යි ඒ හේතුවෙන් පිණ්ඩපාතය ගෙන්වා නොගත යුතු ය.