2. මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූන්ගේ වත්
1. එකල මූලායපටිකස්සනාවට (නැවත මුල සිට පරිවාසය දීමට) සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන් කරන වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම, දොහොත් මුදුනේ තබා වැඳීම, සාමීචිකර්මය (පවන් සැලීම වැනි සුදුසු සත්කාර), අසුන් ගෙනවිත් පැනවීම, ඇඳ ගෙනවිත් පැනවීම, පා සෝදන වතුර ගෙනවිත් දීම, පා පුටුව හා පා උලන කැටය ගෙනවිත් තැබීම, පාත්‍රය හා සිවුර පිළිගැනීම, නාන විට පිට මැදීම යන මේ වත් පිළිගනිති. අල්පේච්ඡ (ආශා අඩු), ලද දෙයින් සතුටු වන, පවට ලජ්ජා ඇති, වරදට බිය ඇති, ශික්ෂාවට කැමති යම් භික්ෂූන් වෙත් ද, ඔවුහු “කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන් කරන වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම -පෙ- නාන විට පිට මැදීම යන මේ වත් පිළිගනිත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉන්පසු ඒ භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
2. එකල භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි භික්ෂු සංඝයා රැස් කරවා “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන් කරන වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම -පෙ- නාන විට පිට මැදීම යන මේ වත් පිළිගනිති යනු සැබෑ ද?” යි විචාළ සේක. “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි ඒ භික්ෂූහු පිළිතුරු දුන්හ.
3. “මහණෙනි, එය නුසුදුසු ය -පෙ- මහණෙනි, කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූහු පකතත්ත භික්ෂූන් කරන වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම -පෙ- නාන විට පිට මැදීම යන මේ වත් පිළිගනිත් ද? මහණෙනි, මෙය ශාසනයෙහි නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුණවුන්ගේ පැහැදීම වැඩි වීම පිණිස හෝ නොවේ. මහණෙනි, එසේම මෙය නොපැහැදුණවුන්ගේ නොපැහැදීම පිණිස ද, පැහැදුණ ඇතැමුන්ගේ සිත වෙනස් වීම පිණිස ද වේ” යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගැරහූ සේක. ගරහා, ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
4. “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂුව පකතත්ත භික්ෂූන් කරන වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම, දොහොත් මුදුනේ තබා වැඳීම, සාමීචිකර්මය, අසුන් ගෙනවිත් පැනවීම, ඇඳ ගෙනවිත් පැනවීම, පා සෝදන වතුර ගෙනවිත් දීම, පා පුටුව හා පා උලන කැටය ගෙනවිත් තැබීම, පාත්‍රය හා සිවුර පිළිගැනීම, නාන විට පිට මැදීම යන මේ වත් නොපිළිගත යුතු ය. යමෙක් පිළිගන්නේ නම්, ඔහුට දුක්කට ඇවැත් වේ.
5. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූන්ට, වැඩිමහලු පිළිවෙළින් එකිනෙකාට වැඳීම, දුටු විට අසුනෙන් නැගිටීම -පෙ- නාන විට පිට මැදීම යන මේ වත් කිරීමට අනුමත කරමි.
6. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූන්ට වැඩිමහලු පිළිවෙළින් පොහොය කිරීම, පවාරණය, වැසි සළුව පිළිගැනීම, ඕනෝජනය (පසුව ලැබීමේ අදහසින් එදිනට නියමිත බත නොගෙන සිටීම), (පරිවාසය වසන භික්ෂූන් උදෙසා පැනවූ) දන් ශාලාවේ බෙදන බත පිළිගැනීම යන මේ පස අනුමත කරමි.
7. එසේ නම් මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූන් පැවතිය යුතු ආකාරය දක්වන, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂූන්ගේ වත් පනවන්නෙමි. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂුව මනාකොට පැවතිය යුතු ය. එහි මනාකොට පැවතීම මෙය යි:
8. තමා උපාධ්‍යාය වී උපසම්පදාව නොකළ යුතු ය. (ආචාර්ය වී) නිස්සය නොදිය යුතු ය. සාමණේරයකු උපස්ථානයට තමා වෙත නොතබා ගත යුතු ය. භික්ෂුණීන්ට අවවාද කිරීමට දෙන සම්මතිය නොපිළිගත යුතු ය. සම්මතිය ලැබුවද භික්ෂුණීන්ට අවවාද නොකළ යුතු ය. යම් ඇවැතක් නිසා සංඝයා විසින් මූලායපටිකස්සනාවට සුදුසු කෙනකු කරන ලද්දේ වේ ද, ඒ ඇවැත හෝ එබඳු වූ වෙනත් ඇවැතක් හෝ එයටත් වඩා බරපතළ ඇවැතක් හෝ නොකළ යුතු ය. විනය කර්මයට දොස් නොකිය යුතු ය. විනය කර්මය කළ භික්ෂූන්ට දොස් නොකිය යුතු ය. පකතත්ත භික්ෂුවකගේ පොහොය නොවැළැක්විය යුතු ය. පවාරණය නොවැළැක්විය යුතු ය. සවචනීය කර්මය නොකළ යුතු ය. අනුවාදය (විහාරයේ අධිපති බව) නොගත යුතු ය. (චෝදනා කිරීමට) අවසර ගැනීම නොකළ යුතු ය. චෝදනා නොකළ යුතු ය. ඇවැත් සිහිපත් නොකරවිය යුතු ය. භික්ෂූන් එකිනෙකා අතර කලහයට නොපෙළඹවිය යුතු ය.
9. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂුව පකතත්ත භික්ෂුවකට පෙරටුව නොයා යුතු ය. පෙරටුව නොහිඳිය යුතු ය. සංඝයාගේ අන්තිම අසුන, අන්තිම යහන, අන්තිම විහාරය යමක් වේ ද, එය ඔහුට දිය යුතු ය. ඔහු ද එය පිළිගත යුතු ය.
10. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු භික්ෂුව, පෙරටුව යන ශ්‍රමණයකු ලෙස හෝ පසුපසින් යන ශ්‍රමණයකු ලෙස හෝ පකතත්ත භික්ෂුවක් සමඟ ගෙවල්වලට නොයා යුතු ය. ආරණ්‍යකාංගය (වනයේ ම වසන ධුතාංගය) සමාදන් නොවිය යුතු ය. පිණ්ඩපාතිකාංගය (පිඬුසිඟා ලත් ආහාරයෙන් ම යැපෙන ධුතාංගය) සමාදන් නොවිය යුතු ය. ‘මා පරිවාසය වසන බව අන් අය නොදනිත්වා’ යි ඒ හේතුවෙන් පිණ්ඩපාතය තමා වෙත නොගෙන්වා ගත යුතු ය.