බ්‍රහ්මදණ්ඩ කථාව
13. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්ෂූන්ට මෙසේ කීහ: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන කාලයේ මට මෙසේ වදාළ සේක: ‘ආනන්ද, එසේ නම් මාගේ ඇවෑමෙන් සංඝයා ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය නියම කරත්වා’ යි.” “ඇවැත් ආනන්දයෙනි, ‘ස්වාමීනි, බ්‍රහ්මදණ්ඩය නම් කුමක් ද?’ යි ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේ ද?” “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ස්වාමීනි, බ්‍රහ්මදණ්ඩය නම් කුමක් ද?’ යි විචාළෙමි. ‘ආනන්ද, ඡන්න භික්ෂුව යමක් කියන්නට කැමති නම් එය කියාවා. භික්ෂූන් විසින් ඡන්න භික්ෂුවට කිසිවක් නොකිය යුතුය. අවවාද නොකළ යුතුය. අනුශාසනා නොකළ යුතුය’ යි වදාළ සේක.” “ඇවැත් ආනන්දයෙනි, එසේ නම් ඔබම ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය නියම කරන්න.”
“ස්වාමීනි, මම ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය නියම කරන්නේ කෙසේ ද? ඒ භික්ෂුව චණ්ඩය, රළුය.” “ඇවැත් ආනන්දයෙනි, එසේ නම් බොහෝ භික්ෂූන් සමග යන්න.” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ “එසේය, ස්වාමීනි” යි ස්ථවිර භික්ෂූන්ට පිළිතුරු දී, පන්සියයක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමග නැවෙන් කොසඹෑ නුවර දෙසට උඩුගං බලා ගියහ. නැවෙන් බැස උදේන රජුගේ උයනට නුදුරු එක්තරා ගසක් මුල වැඩ හුන්හ.
14. එකල උදේන රජ අන්තඃපුර ජනයා (රජ මාලිගාවේ කාන්තාවන්) සමග උයනේ සතුටින් කල් ගෙවමින් සිටියේය. “අපගේ ආචාර්ය වූ ආර්ය ආනන්දයන් වහන්සේ උයනට නුදුරු එක්තරා ගසක් මුල වැඩ හිඳින සේක්ලු” යි උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආරංචි විය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා උදේන රජුට මෙසේ කීහ: “දේවයන් වහන්ස, අපගේ ආචාර්ය වූ ආර්ය ආනන්දයන් වහන්සේ උයනට නුදුරු එක්තරා ගසක් මුල වැඩ හිඳින සේක. දේවයන් වහන්ස, අපි ආර්ය ආනන්දයන් වහන්සේ දකින්නට කැමැත්තෙමු.” “එසේ නම් ඔබලා ශ්‍රමණ ආනන්ද දකින්න.”
ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ධර්ම කතාවෙන් කරුණු මනාව පෙන්වා දුන්හ, සමාදන් කරවූහ, උනන්දු කරවූහ, සතුටු කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් කරුණු මනාව පෙන්වා දෙන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උතුරුසළු (පොරොවන සිවුරු) පන්සියයක් පිදූහ. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට සතුටු වී, අනුමෝදන් වී, අසුනෙන් නැඟිට, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ, පැදකුණු කොට උදේන රජ සිටි තැනට පැමිණියහ.
උදේන රජ එන්නා වූ අන්තඃපුර ජනයා දුර සිටම දුටුවේය. දැක අන්තඃපුර ජනයාට මෙසේ කීය: “ඔබලා ශ්‍රමණ ආනන්ද දුටුවහු ද?” “දේවයන් වහන්ස, අපි ආර්ය ආනන්දයන් වහන්සේ දුටුවෙමු.” “ඔබලා ශ්‍රමණ ආනන්දට කිසිවක් දුන්නහු ද?” “දේවයන් වහන්ස, අපි ආර්ය ආනන්දයන් වහන්සේට උතුරුසළු පන්සියයක් දුන්නෙමු.” “ශ්‍රමණ ආනන්ද එතරම් බොහෝ සිවුරු පිළිගත්තේ කෙසේ ද? ශ්‍රමණ ආනන්ද රෙදි වෙළඳාමක් හෝ කරන්නේ ද? රෙදි වෙළඳ සැලක් හෝ විවෘත කරන්නේ ද?” යි උදේන රජ එය හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි.
15. ඉක්බිති උදේන රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහි කළ යුතු කතාබහ නිම කොට එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් උදේන රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය: “භවත් ආනන්දයෙනි, අපගේ අන්තඃපුර ජනයා මෙහි ආවාහු ද?”
“මහරජ, ඔබගේ අන්තඃපුර ජනයා මෙහි ආවාහුය.”
“භවත් ආනන්දයන්ට කිසිවක් දුන්නාහු ද?”
“මහරජ, මට උතුරුසළු පන්සියයක් දුන්නාහුය.”
“භවත් ආනන්ද එතරම් බොහෝ සිවුරු කුමක් කරන්නේ ද?”
“මහරජ, දිරාපත් සිවුරු ඇති යම් භික්ෂූන් වෙත් ද, ඔවුන් සමග බෙදා ගන්නෙමි.”
“භවත් ආනන්දයෙනි, දිරාපත් වූ යම් පැරණි සිවුරු වෙත් ද, ඒවා කුමක් කරන්නහු ද?”
“මහරජ, ඒවා ඇතිරිලි කරන්නෙමු.”
“භවත් ආනන්දයෙනි, යම් පැරණි ඇතිරිලි වෙත් ද, ඒවා කුමක් කරන්නහු ද?”
“මහරජ, ඒවා බිසිඋර (මෙට්ට ආදියට දමන උර) කරන්නෙමු.”
“භවත් ආනන්දයෙනි, යම් පැරණි බිසිඋර වෙත් ද, ඒවා කුමක් කරන්නහු ද?”
“මහරජ, ඒවා බිම අතුරන ඇතිරිලි කරන්නෙමු.”
“භවත් ආනන්දයෙනි, බිම අතුරන යම් පැරණි ඇතිරිලි වෙත් ද, ඒවා කුමක් කරන්නහු ද?”
“මහරජ, ඒවා පාපිසි කරන්නෙමු.”
“භවත් ආනන්දයෙනි, යම් පැරණි පාපිසි වෙත් ද, ඒවා කුමක් කරන්නහු ද?”