10.
භික්ඛුනී ඛන්ධකය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රටෙහි කිඹුල්වත් නුවර අසල නුගරුක් ආරාමයෙහි (නිග්‍රෝධාරාමයෙහි) වැඩ වසන සේක. එකල මහාප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ, උන්වහන්සේට වැඳ එක් පසෙක සිටියා ය. එක් පසෙක සිටි මහාප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවා ය: “ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ ධර්ම විනය ඇති සසුනෙහි කාන්තාවන්ට ද ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි.”
“ගෝතමිය, එය එපා. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
දෙවන වරටත් මහාප්‍රජාපතී ගෝතමිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ද ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි” යි කීවා ය.
“ගෝතමිය, එය එපා. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තුන්වන වරටත් මහාප්‍රජාපතී ගෝතමිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ද ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි” යි කීවා ය.
“ගෝතමිය, එය එපා. තථාගතයන් වහන්සේ දැන හෙළිදරව් කළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එවිට මහාප්‍රජාපතී ගෝතමිය “තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට භාග්‍යවතුන් වහන්සේ අනුමැතිය නොදෙන සේකැ” යි දුකට පත්ව, නොසතුටු සිත් ඇතිව, කඳුළු පිරි මුහුණින් හඬමින් භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට පිටත්ව ගියා ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර කැමති තාක් කල් වැඩ වාසය කොට විසාලා මහනුවර බලා චාරිකාවේ වැඩි සේක. පිළිවෙළින් චාරිකාවේ වඩිමින් විසාලා මහනුවරට වැඩම කළ සේක. එකල භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
එකල මහාප්‍රජාපතී ගෝතමිය කෙස් කපා කසාවත් හැඳ, බොහෝ ශාක්‍ය කාන්තාවන් සමඟ විසාලා මහනුවර බලා පිටත් වූවා ය. පිළිවෙළින් ගොස් විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවට පැමිණියා ය. එවිට මහාප්‍රජාපතී ගෝතමිය ඉදිමුණු පාදවලින් ද දූවිලි වැකුණු සිරුරින් ද යුතුව, දුකට පත්ව, නොසතුටු සිත් ඇතිව, කඳුළු පිරි මුහුණින් හඬමින් පිටත දොරටු කොටුවෙහි සිටියා ය. ඉදිමුණු පාදවලින් ද දූවිලි වැකුණු සිරුරින් ද යුතුව, දුකට පත්ව, නොසතුටු සිත් ඇතිව, කඳුළු පිරි මුහුණින් හඬමින් පිටත දොරටු කොටුවෙහි සිටි මහාප්‍රජාපතී ගෝතමිය ආනන්ද තෙරුන් වහන්සේ දුටු සේක. දැක, “ගෝතමිය, කුමක් නිසා ඔබ ඉදිමුණු පාදවලින් ද දූවිලි වැකුණු සිරුරින් ද යුතුව, දුකට පත්ව, නොසතුටු සිත් ඇතිව, කඳුළු පිරි මුහුණින් හඬමින් මේ පිටත දොරටු කොටුවෙහි සිටින්නෙහි ද?” යි ඇසූ සේක. “ස්වාමීනි ආනන්දයන් වහන්ස, එසේ ම ය. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට භාග්‍යවතුන් වහන්සේ අනුමැතිය නොදෙන සේකැ” යි ඕ කීවා ය.
2. “එසේ නම් ගෝතමිය, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට අවසර දෙන ලෙස මා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටින තෙක් ඔබ මොහොතක් මෙහි ම රැඳී සිටින්න” යි ආනන්ද තෙරුන් වහන්සේ වදාළ සේක.
ඉන්පසු ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩි සේක. වැඩම කොට, උන්වහන්සේට වැඳ එක් පසෙක හිඳගත් සේක. එක් පසෙක හුන් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළ සේක: “ස්වාමීනි, මේ මහාප්‍රජාපතී ගෝතමිය ‘තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට භාග්‍යවතුන් වහන්සේ අනුමැතිය නොදෙන සේකැ’ යි ඉදිමුණු පාදවලින් ද දූවිලි වැකුණු සිරුරින් ද යුතුව, දුකට පත්ව, නොසතුටු සිත් ඇතිව, කඳුළු පිරි මුහුණින් හඬමින් පිටත දොරටු කොටුවෙහි සිටින්නී ය. ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි.”
“ආනන්දයෙනි, එය එපා. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
දෙවන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි” යි වදාළ සේක.
“ආනන්දයෙනි, එය එපා. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තුන්වන වරටත් ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමීනි, තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබෙන්නේ නම් මැනවි” යි වදාළ සේක.
“ආනන්දයෙනි, එය එපා. තථාගතයන් වහන්සේ දැන වදාළ සසුනෙහි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට ඔබ කැමති නොවන්න” යි (තුන්වන වරටත්) භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.