8. 2. 9.
නානාධිමුත්තික සූත්‍රය
3629. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සත්වයන්ගේ නොයෙක් අදහස් තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 10.
ඉන්ද්රිය සූත්‍රය
3630. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ මේ රූප නොමේරූ බව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 11.
ඣාන සූත්‍රය
3631. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ කිළුටු බව පිරිසිදු බව නැඟීසිටීම තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 12.
පුබ්බෙනිවාස සූත්‍රය
3632. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. එනම්: ‘එක් ජාතියක් ද -පෙ- මෙසේ ආකාර සහිතව, කොටස් (උද්දෙස) සහිතව නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.’”
8. 2. 13.
දිබ්බචක්ඛු සූත්‍රය
3633. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද දුකට පැමිණියාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි. “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ කළාවූ මිසදිටු වූවහුය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විවසව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය. “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ නොකළාහුය. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි කර්මානුකූලව උපන් සත්වයන් දකිමි. “මෙසේ මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද දුර්වර්ණ ඇත්තාවූද, සැප ඇත්තාවූද, සැප නැත්තාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි.”
8. 2. 14.
ආසවක්ඛය සූත්‍රය
3634. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ආශ්‍රවයන් නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරමි’ යනුයි.
සහස්ස වර්ගය දෙවැනියි.
එහි සූත්‍ර නාමාවලිය:
සහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්ථගාමිනී, නානාධාතු, නානාධිමුත්තික, ඉන්ද්රිය, ධ්‍යාන, ත්‍රිවිද්‍යා (පුබ්බේනිවාස, දිබ්බචක්ඛු, ආසවක්ඛය) යන සූත්‍ර දාහතරකි.
අනුරුද්ධ සංයුත්තය නිමි.
එහි වර්ග නාමාවලිය:
සූර්ය වංශයේ ඥාතියා (ආදිච්චබන්ධු) වූ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ අනුරුද්ධ සංයුත්තයෙහි රහෝගත, සහස්ස යන වර්ග දෙකක් ම වෙයි.