8. 2. 5.
ඨාන සූත්‍රය
3625. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හේතූන් හේතූන් වශයෙනුත් හේතු නොවන කරුණු හේතු නොවන කරුණු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 6.
කම්ම සූත්‍රය
3626. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ හේතුවට කාරණයට අනුකූල විපාක තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 7.
සබ්බත්‍ථ සූත්‍රය
3627. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සියලු තැන්වලට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 8.
අනේකධාතු සූත්‍රය
3628. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අනේකධාතු නානාධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 9.
නානාධිමුත්තික සූත්‍රය
3629. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සත්වයන්ගේ නොයෙක් අදහස් තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 10.
ඉන්‍ද්‍රිය සූත්‍රය
3630. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ මේ රූප නොමේරූ බව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 11.
ඣාන සූත්‍රය
3631. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ කිළුටු බව පිරිසිදු බව නැඟීසිටීම තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 12.
පුබ්බෙනිවාස සූත්‍රය
3632. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් නොයෙක් වැදෑරුම් පෙර විසුම් සිහිකරමි. කෙසේද යත්? “ජාති එකක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති හතලිහක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද නොයෙක් සංවට්ට කල්පයන්ද නොයෙක් විවට්ට කල්පයන්ද නොයෙක් සංවට්ට විවට්ට කල්පයන් අසවල් තැන සිටියෙමි. නම මෙසේය. ගෝත්‍රය මෙසේය. වර්ණය මෙසේය. ආහාරය මෙසේය. මෙසේ සැප දුක් වින්දෙමි. මෙසේ ආයු කෙළවරවිය. මම එයින් චුතව මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව කොටස් සහිතව නොයෙක් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙල සිහි කරමි” යනුයි.
8. 2. 13.
දිබ්බචක්ඛු සූත්‍රය
3633. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද දුකට පැමිණියාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි. “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ කළාවූ මිසදිටු වූවහුය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ විවසව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය. “මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට නිග්‍රහ නොකළාහුය. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි කර්මානුකූලව උපන් සත්වයන් දකිමි. “මෙසේ මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද දුර්වර්ණ ඇත්තාවූද, සැප ඇත්තාවූද, සැප නැත්තාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි.”
8. 2. 14.
ආසවක්ඛය සූත්‍රය
3634. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ආශ්‍රවයන් නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරමි’ යනුයි.
සහස්ස වර්ගය දෙවැනියි.
එහි උද්දානය:
සහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්‍ථගාමිනි, අනේකධාතු, නානාධිමුත්ති, ඉන්ද්‍රිය, ඣාන සහ ත්‍රිවිද්‍යා යැයි සූත්‍ර වෙති.
අටවැනි අනුරුද්ධ සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
රහෝගත සහ සහස්ස යැයි ආදිච්චබන්ධූන් වහන්සේ විසින් දෙසූ අනුරුද්ධ සංයුත්තයෙහි වර්ග දෙකක් වෙති.