8. 1. 6.
6. තතිය කණ්ටකී සූත්රය
904. (මේ ඡේදය මේ වර්ගයේ 4 සූත්රයේ 1 ඡේදය මෙනි.) “කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙමේ මහත් අභිඥා ඇති බවට පැමිණියේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. කවර සතරක්ද යත්? “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කළෙමි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කළෙමි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කළෙමි. “ඇවැත්නි, මම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් චක්රවාළ දහසක් එක් ආවර්ජනයකින් දැන ගනිමියි” කීය.
8. 1. 7.
7. තණ්හක්ඛය සූත්රය
905. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එහිදී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ භික්ෂූන් ඇමතූහ. “ඇවැත්නි, කවර ධර්මයන් වැඩූ බැවින් තෘෂ්ණාව නැති බවට පැමිණියේද? “ඇවැත්නි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්. කවර සතරක්ද යත්? “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත බලමින් වාසය කරයි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. “ඇවැත්නි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්” යනුයි.
8. 1. 8.
8. සලලාගාර සූත්රය
906. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සලළාගාරයෙහි විසූහ. එහිදී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් අමතා මෙය කීහ. “ඇවැත්නි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට නැඹුරුවී පවතීද, ඉක්බිති ‘අපි මේ ගංගානදිය බටහිරට නැමුනක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කරන්නෙමුයි’ උදළු කූඩා ගත් මහජන සමූහයක් එන්නේය. ඇවැත්නි, ඒ කුමකැයි සිතව්ද? ඒ මහජන සමූහය ගංගානදිය බටහිරට නැමුනක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කෙරේද?” “ඇවැත්නි, එය එසේ නොවේ.” “එයට හේතුව කවරේද?’ “ඇවැත්නි, ගංගානදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට නැඹුරුවී පවත්නේය. එය බටහිරට නැමුණක් බටහිරට හැරුණක් බටහිරට නැඹුරුවූවක් කිරීමට පහසු නොවේ. ඒ මහාජන සමූහය එයින් ක්ලාන්ත බවට වෙහෙසීමට පත්වන්නේය.”
“ඇවැත්නි, එපරිද්දෙන්ම සතර සතිපට්ඨානය වඩන්නාවූ බහුල වශයෙන් වඩන්නාවූ භික්ෂුවට රජු හෝ රාජ මහාමාත්යයෙක් හෝ මිත්රයෙක් හෝ අසල්වැස්සෝ හෝ සහලේ නෑයෝ හෝ ‘පින්වත් පුරුෂය, නුඹ කුමක් නිසා මේ කෂාය වස්ත්රය පෙරවන්නෙහිද, කුමක් නිසා හිස මුඬුකොට කබලක් ගෙන හැසිරෙන්නෙහිද, එව සිවුරු හැර සම්පත්ද අනුභව කරව පින්ද කරවයි පවරන්නාහු නම් ඇවැත්නි, ‘සතර සතිපට්ඨානයන් වඩන්නාවූ සතර සතිපට්ඨානයන් බහුල වශයෙන් වඩන්නාවූ ඒ භික්ෂුව වනාහි ශික්ෂා ප්රත්යඛ්යානය කොට (භික්ෂුභාවය ප්රතික්ෂේප කොට) ගිහි වන්නේය’ යන මේ කරුණ විද්යමාන නොවේ. එයට හේතුව කවරේද? ඇවැත්නි, යම් සිතක් බොහෝ කාලයක් විවේකයට නැමුනේද, විවේකයට හැරුණේද, විවේකයට නැඹුරු වූයේද? එය එසේ ගිහි බවට පැමිණෙන්නේය යන මේ කරුණ විද්යමාන නොවේ.
“ඇවැත්නි, මහණතෙමේ කෙසේ නම් සතර සතිපට්ඨානයන් වඩන්නේද, සතර සතිපට්ඨානයන් බහුල කරන්නේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ඇවැත්නි, මහණතෙමේ මෙසේ වනාහි සතර සතිපට්ඨානයන් වඩන්නේය. සතර සතිපට්ඨානයන් බහුල වශයෙන් වඩන්නේය” යනුයි.
8. 1. 9.
9. අම්බපාලි සූත්රය
907. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේද විසාලා මහනුවර අම්බපාලි වනයෙහි වාසය කෙරෙත්. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටුවූහ. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට එක්පසෙක වැඩ උන්හ. එක්පසෙක උන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, ඔබගේ ඉන්ද්රියයෝ අතිශයින් ප්රසන්නයහ. මුහුණෙහි වර්ණය පිරිසිදුය, විශේෂයෙන් පැහැපත්ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ කාලයෙහි කවර නම් විහරණයකින් වැඩි වශයෙන් වාසය කරන්නේද?”යනුයි.