8. 1. 10.
10. ගිලාන සූත්‍රය
908. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ රෝගීව දුකට පැමිණ දැඩි ගිලන්ව සැවැත් නුවර අන්ධ වනයෙහි වාසය කළහ. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීවාහුය. කිනම් විහරණයකින් වාසය කරන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ උපන් ශාරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්ද?”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ මාගේ උපන්නාවූ ශාරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්. කවර සතරෙක්හිද? ආයුෂ්මත්නි, මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරමි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි. “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් කෙරෙහි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ මාගේ උපන් ශාරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්” යනුයි.
පළමුවැනි රහොගත වර්ගය නිමි
එහි උද්දානය:
රහෝගතෙනේව දුවේ සුතනුකණ්ටකී තයෝ,
තණ්හක්ඛයසලලාගාරේ අම්බපාලිගිලානෙහීති.
2. සහස්ස වර්ගය
8. 2. 1.
සහස්ස සූත්‍රය
3621. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක්පසෙක හුන්නෝය. එක්පසෙක හුන් භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ කවර නම් ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියේද?” යනුයි. “ඇවැත්නි, මම සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියෙමි. කවර සතරක්ද යත්, “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. ‘ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියෙමි. ඇවැත්නි මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් චක්‍රවාල දහසක් සිහි කරන්නෙමියි” කීහ.
8. 2. 2.
ඉද්ධිවිධ සූත්‍රය
3622. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් නොයෙක් ඉද්ධි අනුභව කරමි. එකෙක්ව බොහෝ දෙනෙක් වෙමි. බොහෝ දෙනෙක්ව එකෙක් වෙමි. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නෙමි. ජලයෙහි මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යමි. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් හිඳ ගෙනම යමි. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කරමි. පිරිමදිමි. බඹලොව දක්වා කයින් වසඟයෙහි පවත්වමි” කීය.
8. 2. 3.
දිබ්බසෝත සූත්‍රය
3623. “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්‍ය ශ්‍රෝත්‍ර ධාතුවෙන් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරවූද ළඟවූද දෙවදෑරුම් ශබ්දයන්ම අසන්නෙමි.”