7. 8. 160.
උද්ධම්භාගිය සූත්‍රය
3610. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙත්. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙත්. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණීස පහ කිරීම පිණිස සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර ඉද්ධිපාදයන් වැඩිය යුත්තාහ.”
ඕඝවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යනුයි.
සත්වෙනි ඉර්ධිපාද සංයුත්තය නිමි
එහි වර්ග උද්දානය:
ඉද්ධිපාද සංයුත්තයෙහි චාපාල, පාසාද, කම්පන, යෝගුළ, ගංගාපෙය්‍යාල ආදී වූ පසෙන් ද යුත් වර්ග අටක් වෙත්.
8. අනුරුද්ධ සංයුත්තය
1. රහෝගත වර්ගය
8. 1. 1.
1. රහෝගත සූත්‍රය
899. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරයි. එකල රහසිගතව විවේකයෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ‘යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ නොකරන ලද්දේය. යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ කරන ලදී.’ යනුයි.
එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරන්නේද, දික්කල අතක් වක්කරන්නේද, එපරිද්දෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙය කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, කොපමණකින් වනාහි භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ පටන්ගන්නා ලද්දාහු වෙත්ද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,