7. 3. 6.
6. දුතියඵල සූත්‍රය
838. “මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ වනාහි සතර ඉද්ධිපාදයෝයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ඵල සතක් ආනිසංස සතක් කැමතිවිය යුත්තාහ. කවර ඵල සතක් ආනිසංස සතක්ද, පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය ලබයි. ඉදින් මේ ආත්මයෙහිම පළමුකොට රහත් ඵලය නොලබයිද එකල්හි මරණ සමයෙහි රහත් ඵලය ලැබෙයි. ඉදින් පළමුකොට මේ ආත්මභාවයෙහි රහත්ඵලය නොලබයිද? ඉදින් මරණ කාලයෙහි රහත්ඵලය නොලබයිද එකල්හි පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි අනාගාමි හෝ වෙයි. අසංඛාර පරිනිබ්බායී හෝ වෙයි. සසංඛාර පරිනිබ්බායි හෝ වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමි හෝ වෙයි. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තාහ.
7. 3. 7.
7. ආනන්‍ද සූත්‍රය
839. [2] එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. [3] “ස්වාමීනි, ඉද්ධිය නම් කුමක්ද, ඉද්ධිපාද නම් කුමක්ද, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන මාර්ගය නම් කුමක්ද? යනුයි.
“ආනන්දය මේ ශාසනයෙහි මහණතෙමෙ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද, එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරි මැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ආනන්දය, මේ ඉද්ධියයි කියනු ලැබේ. [4] “ආනන්දය, ඉද්ධිපාදය කවරේද? ආනන්දය, ඉද්ධිය ලැබීම පිණිස, ඉද්ධිය වැඩීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් වෙයිද, ආනන්දය, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ. [5] “ආනන්දය, ඉද්ධිපාද වැඩීම නම් කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, ආනන්දය මේ ඉද්ධිපාද වැඩීම යයි කියනු ලැබේ. [6] “ආනන්දය, ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? සම්‍යක් දිට්ඨිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. ආනන්දය, මේ ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
7. 3. 8.
8. දුතිය ආනන්‍ද සූත්‍රය
840. එක්පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආනන්දය, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය නම් කවරේද? ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව නම් කවරේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.” “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ. (මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)
7. 3. 9.
9. සම්බහුලභික්ඛු සූත්‍රය
841. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද?” කියායි. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ. (මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)