7. 1. 9.
ඤාණ සූත්‍රය
821. “මහණෙනි, මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ වීය. මහණෙනි, ඒ මේ වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්‍රඥාව පහළ වීය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ වීය.
“මහණෙනි, මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ වීය. ප්‍රඥාව පහළ වීය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ වීය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ වීය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
7. 1. 10.
චේතිය සූත්‍රය
822. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පොරවා විශාලා නුවරට පිණ්ඩපාතය පිණිස වැඩිසේක. විශාලා නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී වැඩියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක. “ආනන්දය, නිසීදනය ගනුව, චාපාල චේතිය යම් තැනකද දිවා විහරණය සඳහා එහි යන්නෙමි”යි-ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ චාපාල චේතිය යම් තැනකද එතැනට වැඩියහ. වැඩ, පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.
“ආනන්දය, විශාලාව සිත්කළුය, උදේන චෛත්‍යය සිත්කළුය, ගෝතමක චෛත්‍යය සිත්කළුය, සත්තම්බ චෛත්‍යය සිත්කළුය, බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය, චාපාල චෛත්‍යය සිත්කළුය. “ආනන්දය යම් කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද, යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක් මෙන් කරන ලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැත්තේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය. “ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය, අධිෂ්ඨාන කරන ලද්දාහුය, පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් වීය. “බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ සුගතයන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන්වහන්සේට යාඥා නොකෙළේය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළ සේක. “ආනන්දය, විශාලා නුවර සිත්කළුය, උදේන චෛත්‍යය සිත්කළුය. ගෝතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බ චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය. “ආනන්දය, යම්කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක්මෙන් කරනලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව හෝ වැඩිව හෝ සිටින්නේය. “ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය. යානාවක් මෙන් කරන ලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය. අධිෂ්ඨාන කරන ලද්දාහුය. පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් විය. “බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා! සුගතයන් වහන්ස කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය. තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළසේක “ආනන්දය, විසාලා නුවර සිත්කළුය. උදේන චෛත්‍යය සිත්කළුය. ගෝතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බ චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය. ආනන්දය, යම්කිසිවකු විසින් සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද නැවත නැවත වඩන ලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද සිටින තැනක් මෙන් කරන ලද්දාහුද අධිෂ්ඨාන කරන ලද්දාහුද පුරුදු කරන ලද්දාහුද මනාකොට ආරම්භ කරන ලද්දාහුද ආනන්දය, හෙතෙම කැමති වන්නේනම් කල්පයක් හෝ කල්පයට අඩුව වැඩිව හෝ සිටින්නේය. “ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය, නැවත නැවත වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය, සිටීමට තැනක් මෙන් කරන ලද්දාහුය. අධිෂ්ඨාන කරන ලද්දාහුය. පුරුදු කරන ලද්දාහුය. මනාකොට ආරම්භ කරන ලද්දාහුය. ආනන්දය, තථාගතයන් කැමතිවන්නේනම්, කල්පයක් හෝ කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය” යනුයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ තේරුම්ගැනීමට අසමත් වීය. “බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා යයි’ අනික් පෘථග්ජනයකුමෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය.