7. 1. 5.
පදෙස සූත්‍රය
817. “මහණෙනි, අතීතයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. “මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති. “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. “මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අතීත කාලයෙහි ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති.”
7. 1. 6.
සමත්ත සූත්‍රය
818. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්. “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධි (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්.”
7. 1. 7.
භික්ඛු සූත්‍රය
819. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව ඒ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ අත් බැව්හිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ සියල්ලෝ සතර ඍද්ධි පාදයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්. “කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, අතීතකාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුද, දැන් කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත්ද, “ඒ සියල්ලෝම මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.”
7. 1. 8.
අරහන්ත සූත්‍රය
820. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝ වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙම අර්හත් සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ.”