5. 5. 1-159.
ඔඝ ආදී සූත්‍ර
2507-2665. මහණෙනි, ඕඝ (සැඩපහර) සතරක් වෙත්. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි. මහණෙනි, මේ සතර ඕඝයෝ යි. මහණෙනි, මේ සතර ඕඝයන්ගේ පිරිසිඳ දැනීම පිණිස ... (පෙ) ... ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතර සම්මප්පධානයෝ වැඩිය යුත්තාහු ය. කවර සතරක් ද යත් ... (පෙ) ... වැඩිය යුත්තාහු යි. (විස්තර කටයුතුයි).
5. 5. 160.
උද්ධම්භාගිය සූත්‍රය
[2] මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසක්ද? රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. “මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස සතර සම්‍යක් ප්‍රධානයන් වැඩිය යුතුය. [3] “කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි, උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි. [4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි. උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි. [5] “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනුම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර සම්‍යක්ප්‍රධානයන් වැඩිය යුතුය.” (ඕඝ වර්ගයේ සම්මප්පධාන වශයෙන් ඉතිරි සූත්‍ර නවයද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර දසයෙකි.
පස්වැනි සම්මප්පධාන සංයුත්ත නිමි.
එහි වර්ග උද්දානය:
ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, එසනා වර්ගය, ඕඝ වර්ගය යි සම්මප්පධාන සංයුත්තයෙහි වර්ග පසෙකි.
6. බල සංයුත්තය
1. ගංගාපෙය්‍යාල වර්ගය
6. 1. 1-12.
පාචීනනින්න ආදී සූත්‍ර
2667-2678. සැවැත් නුවරදී:
මහණෙනි, බල පසක් වෙත්. කවර පසක්ද යත්, සද්ධාබලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය යනුයි. මහණෙනි, මොව්හු වනාහි පඤ්ච බලයෝයි. මහණෙනි, යම්සේ ගංගානදිය පෙරදිගට නැඹුරුද, පෙරදිගට නැමී පවතීද, පෙරදිගට හැරී පවතීද, මහණෙනි එපරිද්දෙන් පඤ්ච බලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, පඤ්ච බලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙමේ කෙසේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයිද? මේ ශාසනයෙහි මහණතෙම නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සද්ධාබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු විරිය බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සතිබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු සමාධි බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු පඤ්ඤා බලය වඩයි. මහණෙනි මෙසේ වනාහි පඤ්චබලයන් වඩන්නාවූ පඤ්ච බලයන් බහුල කරන්නාවූ මහණතෙමේ නිවනට නැමුණේ නිවනට බරවූයේ වෙයි.
ගඞ්ගාපෙය්‍යාලවග්ගො පඨමො.
එහි උද්දානය:
නැගෙනහිරට නැඹුරු සයක් ද, මුහුදට නැඹුරු සයක් දැයි මෙසේ මේ දොළොසක් වෙත්. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
2. අප්පමාද වර්ගය
6. 2. 1-10.
තථාගත ආදී සූත්‍ර
2679-2688. මහණෙනි, පාද නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පා ඇත්තාවූ හෝ බොහෝ පාද ඇත්තාවූ හෝ යම්තාක් සත්වයෝ වෙත් ද... (මෙසේ විස්තර කටයුතුයි).
(විවේක නිශ්‍රිත ආදි වශයෙන් විස්තර කටයුතුයි.)
අප්පමාදවග්ගො දුතියො.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යැයි දසවන පදය වේ.