4. 5. 9.
පිණ්ඩොල භාරද්වාජ සූත්රය
1733. මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වැඩ සිටසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිම වන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලද්දේ වෙයි. එකල්හි භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලදී. “කිමෙක්ද ස්වාමීනි, කිනම් අර්ථයක් දක්නාවූ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලද්දේද?”
“මහණෙනි, ඉන්ද්රියන් තුනක් වැඩීමෙන් බහුල කිරීමෙන් පිණ්ඩොල භාරද්වාජයන් විසින් ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරන ලදී. කවර තිදෙනෙකුන්ගේද යත්. සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යන තිදෙනාගේය. “මහණෙනි, පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් මේ ඉන්ද්රියයන් තිදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ‘ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී. කලයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරන ලදී. “මහණෙනි, මේ තුන් ඉන්ද්රියයෝ කුමක් කෙළවර කොට ඇත්තාහුද? ක්ෂය කිරීම කෙළවර කොට ඇත්තාහුය. කවරක්හුගේ ක්ෂය කිරීම කෙළවරකොට ඇත්තාහුද? ජාති ජරා, මරණයන්ගේය. “මහණෙනි, ජාති, ජරා, මරණ ක්ෂයවීයයි දක්නාවූ පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරන ලදැයි” වදාළේය.
4. 5. 10.
ආපණ නිගම සූත්රය
1734. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අංග ජනපදයෙහි ආපන නම්වූ අංග වාසීන්ගේ නියම්ගම වාසය කළසේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට ඇමතූ සේක. ‘ශාරිපුත්තය, තථාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් පැමිණියාවූ විශේෂයෙන් පැහැදුණාවූ යම් ආර්ය්ය ශ්රාවකයෙක්වේද, හෙතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක කරයිද විචිකිච්ඡා කරයිද?”
“ස්වාමීනි, තථාගතයන් වහන්සේ කෙරෙහි එකාන්තයෙන් පැමිණියාවූ විශේෂයෙන් පැහැදුණාවූ යම් ආර්ය්යශ්රාවකයෙක් වෙයිද, හෙතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශාසනය කෙරෙහි හෝ සැක නොකරන්නේය. විචිකිච්ඡා නොකරන්නේය. “ස්වාමීනි, ශ්රද්ධාවෙන් යුත් ආර්ය්යශ්රාවකයා හට අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස වීර්ය්යය ඇතිව දැඩි උත්සාහ ඇතිව කුසල ධර්මයන්හි බහා නොතැබූ බර ඇතිව පටන් ගන්නා ලද වීර්ය්ය ඇතිව වාසය කරන්නේය යන මෙය කැමති විය යුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් වීර්ය්යයක් වීද, ඔහුගේ විරින්ද්රියය වෙයි. “ස්වාමීනි, ශ්රාද්ධාවත් ආර්ය්යශ්රාවකයා හට සිහි ඇත්තෙක් වන්නේය. උතුම්වූ සිහි නුවණින් යුක්තවූයේ බොහෝ පෙර කරන ලද බොහෝ පෙර කියන ලද දේ සිහිකරන්නෙක් වන්නේය යන මෙය කැමති විය යුතුයි ස්වාමීනි, ඔහුගේ යම් සිහියක් වේද, එය ඔහුගේ සතින්ද්රියයි. ස්වාමීනි, ශ්රද්ධාවෙන් යුත් පටන්ගත් වීර්ය්ය ඇති එළඹ සිටි සිහියෙන් යුත් ආර්ය්යශ්රාවකයා හට නිවන් අරමුණුකොට පවත්නා සමාධිය ලබන්නේය. සිතේ එකඟකම ලබන්නේය යන මෙය කැමැති වියයුතුයි. ස්වාමීනි, ඔහුගේ යම් සමාධියක් වීද එය ඔහුගේ සමාධින්ද්රියයි