4. 5. 3.
සාකේත සූත්රය
1727. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සාකෙත නුවර මිගදාය නම්වූ අඳුන්වනයෙහි වාසය කළ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් ක්රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද, පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, එබඳු ක්රමයක් ඇත්තේද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“මහණෙනි, යම් ක්රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, මහණෙනි, එබඳු ක්රමයක් ඇත. මහණෙනි, යම් ක්රමයකින් පංච ඉන්ද්රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්රියයෝ වෙත්ද, මහණෙනි, ඒ ක්රමය කවරේද? මහණෙනි, යමක් සද්ධින්ද්රිය වෙයිද, එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලය වෙයිද, එය සද්ධින්ද්රිය වෙයි. යමක් විරියින්ද්රිය වෙයිද, එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරියින්ද්රිය වෙයි. යමක් සතින්ද්රිය වෙයිද, එය සති බලය වෙයි. යමක් සති බලය වෙයිද, එය සතින්ද්රිය වෙයි. යමක් සමාධින්ද්රිය වේද එය සමාධි බලය වෙයි. යමක් සමාධි බලය වෙයිද, එය සමාධින්ද්රිය වෙයි. යමක් පඤ්ඤින්ද්රිය වෙයිද, එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද, එය පඤ්ඤින්ද්රිය වෙයි.”
“මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණාවූ පෙරදිගට බස්නාවූ පෙරදිගට ගලන්නාවූ ගඟක් වෙයිද, ඒ ගඟ මැද දිවයිනක් වෙයිද, මහණෙනි, යම් ක්රමයකින් ඒ ගඟ එකම ජල පහරක්යයි ව්යවහාරයට යේද, මහණෙනි, එවැනි ක්රමයක්ද ඇත. යම් ක්රමයකින් ඒ ජල පහර දෙකකැයි ව්යවහාරයට යේද, මහණෙනි, එවැනි ක්රමයක්ද ඇත්තේය. මහණෙනි, යම් ක්රමයකින් ඒ ගංගාවෙහි එකම ජල පහරකැයි ව්යවහාරයට යෙයිද, මහණෙනි ඒ ක්රමය කවරේද? මහණෙනි, ඒ දිවයිනේ පෙර කෙළවර යම් ජලයක් වෙයිද පසු කෙළවරෙහි යම් ජලයක් වෙයිද, යම් ක්රමයක් නිසා මේ ජලය එකම ජල පහරකැයි ව්යවහාරයට යෙත්ද, මහණෙනි, මේ වනාහි එකම ජලපාරකියි ව්යවහාරයට යන ක්රමය වෙයි. කවර ක්රමයකින් ඒ ගංගාවගේ ජලපහර දෙකකැයි ව්යවහාරයට යේද? මහණෙනි, ඒ ද්වීපයාගේ උතුරු පැත්තෙන් යම් ජලයක් වෙයිද, දකුණු පැත්තෙන් යම් ජලයක් වෙයිද, ඒ දිය පාරවල් දෙකකැයි යන ව්යවහාරයට පැමිණෙයි. මේ වනාහි ඒ දියපාරවල් දෙකකැයි ව්යවහාරවන ක්රමය වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම යමක් සද්ධින්ද්රිය වෙයිද එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලය වෙයිද එය සද්ධින්ද්රිය වෙයි. යමක් විරියින්ද්රිය වෙයිද එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරියින්ද්රිය වෙයි. යමක් සතින්ද්රිය වෙයිද එය සතිබලය වෙයි. යමක් සතිබලය වෙයිද එය සතින්ද්රිය වෙයි. යමක් සමාධින්ද්රිය වේද එය සමාධිබලය වෙයි. යමක් සමාධිබලය වෙයිද එය සමාධින්ද්රිය වෙයි. යමක් පඤ්ඤින්ද්රිය වෙයිද එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද එය පඤ්ඤින්ද්රියයි. මහණෙනි, පංචෙන්ද්රියයන් වැඩීම හේතුකොටගෙන බහුල කිරීම හේතුකොටගෙන භික්ෂුව ආශ්රවයන්ගේ ක්ෂය වීමෙන් ආශ්රව රහිතවූ චේතෝ විමුක්තියත් ප්රඥා විමුක්තියත් මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.”
4. 5. 4.
පුබ්බකොට්ඨක සූත්රය
1728. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර පුබ්බ කොට්ඨක නම් ස්ථානයෙහි වාසය කළ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් ඇමතූ සේක: “සාරිපුත්තය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්රිය නිවනට බැසගත්තේ වෙයි, නිවන පිහිට කොට ඇත්තේ වෙයි, නිවන කෙළවර කොට ඇත්තේ වෙයි’ කියා නුඹ අදහන්නෙහිද? සාරිපුත්තය, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ විරියින්ද්රිය... සතින්ද්රිය... සමාධින්ද්රිය... පඤ්ඤින්ද්රිය නිවනට බැසගත්තේ වෙයි, නිවන පිහිට කොට ඇත්තේ වෙයි, නිවන කෙළවර කොට ඇත්තේ වෙයි’ කියා නුඹ අදහන්නෙහිද?”