4. 4. 3.
වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය
1717. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි. “මහණෙනි, යම් කලෙක මහණතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තෘෂ්ණා දාෂ්ටීන්ගෙන් අල්වා නොගෙන මිදුනේවේද, මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇති වැස නිමවන මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව ඇති කරනලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, තමාගේ අර්ථයට පැමිණියාවූ, මනාකොට දැන මිදුනාවූ අර්හත් පුද්ගලයා යයි කියනු ලැබේ.
4. 4. 4.
වෙදනීන්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
1718. “මහණෙනි මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්. “ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
4. 4. 5.
දුතිය වෙදනින්ද්‍රිය සූත්‍රය
1719. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්‍රිය නොදනිත්ද, සුඛින්ද්‍රිය හේතුව නොදනිත්ද, සුඛින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, සුඛින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය හේතුව නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය හේතුව නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය හේතුව නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, දොම්නස්සින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය හේතුව නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත් “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සුඛින්ද්‍රිය දනිත්ද, සුඛින්ද්‍රිය හේතුව දනිත්ද, සුඛින්ද්‍රිය නිරෝධය දනිත්ද, සුඛින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දුක්ඛින්ද්‍රිය දනිත්ද, දුක්ඛින්ද්‍රිය හේතුව දනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරෝධය දනිත්ද, දුක්ඛින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොමනස්සින්ද්‍රිය දනිත්ද, සොමනස්සින්ද්‍රිය හේතුව දනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරෝධය දනිත්ද, සොමනස්සින්ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, දොමනස්සින්ද්‍රිය දනිත්ද, දොම්නස්සින්ද්‍රිය හේතුව දනිත්ද, දොමනස්සින්ද්‍රිය නිරෝධය දනිත්ද දොමනස්සින්ද්‍රිය නිරෝධගාමිනි ප්‍රතිපදාව දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය දනිත්ද උපෙක්ඛින්ද්‍රිය හේතුව දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරෝධය දනිත්ද, උපෙක්ඛින්ද්‍රිය නිරෝධගාමිනි ප්‍රතිපදාව දනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.”
4. 4. 6.
පඨම වෙදනින්ද්‍රිය විභඞග සූත්‍රය
1720. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි. “මහණෙනි, සුඛින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික සැපයක් වේද, කායික මිහිරක් වේද, කාය ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක්වේද, මහණෙනි, මේ සුඛින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික දුකක් වේද, කායික අවහිරයක් වේද, කාය ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මෙය දුක්ඛින්ද්‍රියයයි කියනු ලැබේ. “මහණෙනි, සොම්නස්සින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික සැපයක් වේද, මානසික මිහිරක් වේද, මනො ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මේ සොමනස්සින්ද්‍රියයයි කියනු ලැබේ. “මහණෙනි, දොමනස්සින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික දුකක්වේද? මානසික අමිහිරක් වේද? මනො ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක්වේද? මහණෙනි, මේ දොමනස්සින්ද්‍රියයයි කියනු ලැබේ. “මහණෙනි, උපෙක්ඛින්ද්‍රිය කවරේද? යම් ඒ කායිකවූද, චෛතසිකවූද, මිහිරිද නොවූ අමිහිරිද නොවූ විඳීමක්වේද, මහණෙනි මේ උපෙක්ඛින්ද්‍රියයයි කියනුලැබේ මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”