4. 1. 9.
ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
1693. මහණෙනි, මේ ඉන්ද්‍රිය පස්දෙනෙක් වෙති කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, සද්ධින්ද්‍රිය යනු කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්ම සාරථීය. දෙවි මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මෙය සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකරනු පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍ය ඇතිව පටන් ගන්නාලද වීර්‍ය්‍යය ඇතිව කුසල ධර්මයන්හි බහාතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ විරින්ද්‍රියයයි කියනු ලැබේ.
මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිහියෙන් යුක්තවේද මනාකොට සිහි නුවණින් යුක්ත වූයේවේද, පෙර කරනලද පෙර කියනලද දේ සිහි කරන්නේ විශේෂයෙන් සිහි කරන්නේ වෙයිද, මහණෙනි, මෙය සතින්ද්‍රිය යයි කියනු ලැබේ.
මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවන් අරමුණු කොට සමාධිය ලබයිද, සිතේ එකඟකම ලබයිද, මහණෙනි, මෙය සමාධින්ද්‍රිය යයි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උතුම්වූ කලකිරීම් පිණිස පවත්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වූයේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්‍රිය යයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝ යයි කියනු ලැබෙත්.
4. 1. 10.
දුතිය ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
1694. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධාවත් වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්ම සාරථීයහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේද, මහණෙනි, මෙය සද්ධින්ද්‍රිය යයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන් පහකිරීම පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ කුසල ධර්මයන්හි බහා තබන ලද බර ඇත්තේ වාසය කරයිද, හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් ලාමක අකුසල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, නූපන් කුසල් ධර්මයන් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන් ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිතින් දැඩි උත්සාහ කරයි, ස්ථිර ලෙස පිහිටුවයි. මහණෙනි, මෙය විරියින්ද්‍රිය යයි කියනු ලැබේ.