4. 1. 1.
සුද්ධික ඉන්ද්‍රිය සූත්‍රය
1685. සාවත්ථියෙහි: මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධිඉන්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රියයි මහණෙනි, මොහු ඉන්ද්‍රිය පස වෙති.”
4. 1. 2.
සෝතාපන්න සූත්‍රය
1686. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි. මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ එතැන්පටන් සෝවාන් වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බවට පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.”
4. 1. 3.
දුතියසෝතාපන්න සූත්‍රය
1687. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි. මහණෙනි, යම්සේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ යම් කලෙක මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීමද, බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, එතැන්පටන් මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බව පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.
4. 1. 4.
අරහන්ත සූත්‍රය
1688. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි. මහණෙනි, යම් කලෙක පටන් මහණතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හාදිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේවේද, මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමවන ලද්දාවූ කරනලද කටයුතු ඇත්තාවූ, බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ, පැමිණෙන ලද තමාගේ අර්ථය ඇත්තාවූ නැතිකළ භව බැඳුම් ඇත්තාවූ මනා කොට දැනගැනීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ”
4. 1. 5.
දුතිය අරහන්ත සූත්‍රය
1689. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි යම් කලෙක පටන් වනාහි මහණතෙමේ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීමද බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හාදිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේවේද? මහණෙනි, මේ මහණතෙම ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තාවූ බඹසර වැස නිමවන ලද්දාවූ කරනලද කටයුතු ඇත්තාවූ බහා තැබූ කෙලෙස් බර ඇත්තාවූ පැමිණෙන ලද තමාගේ අර්ථය ඇත්තාවූ නැතිකල භව බැඳුම් ඇත්තාවූ මනා කොට දැනගැනීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණාවූ අර්හත් පුද්ගලයායි කියනු ලැබේ.
4. 1. 6.
සමණ බ්‍රාහ්මණ සූත්‍රය
1690. මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක්වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියන්ගේ ඉපදීමද, විනාශයද ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි, සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්.
මහණෙනි, ඇතැම් ශ්‍රමණෙයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පඤ්චෙන්ද්‍රියන්ගේ ඉපදීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මතවූවාහුද බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මතවූවාහුද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ අර්ථයද, බ්‍රාහ්මණභාවයේ අර්ථයද මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
4. 1. 7.
දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
1691. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සද්ධින්ද්‍රිය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සද්ධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, විරියින්ද්‍රිය නොදනිත්ද විරියින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, විරියින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, විරියින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, සතින්ද්‍රිය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සතින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, සමාධින්ද්‍රිය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ ඉපදීම නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, සමාධින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, පඤ්ඤින්ද්‍රිය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ ඉපදීම නොදත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධය නොදනිත්ද, පඤ්ඤින්ද්‍රියයාගේ නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණයයි සම්මත වූවාහුද, බ්‍රාහ්මණයන් අතරෙහි බ්‍රාහ්මණයයි සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයාගේ අර්ථයද, බ්‍රාහ්මණභාවයාගේ අර්ථයද මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ නොවසත්.