3. 4. 1.
අනනුස්සුත සූත්‍රය
1209. සැවැත් නුවර: මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාවයයි මම පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය ඇතිවිය, විද්‍යාව ඇතිවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වැඩිය යුතුයයිද පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වඩන ලද්දේයයිද මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය ඇතිවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය. “මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වැඩිය යුතු යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. “මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, චිත්තයන්හි චිත්තානුපස්සනාව වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව යයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.”
3. 4. 2.
විරාග සූත්‍රය
1210. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්. “කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂ ඥානය පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.”
3. 4. 3.
විරද්ධ සූත්‍රය
1211. “මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ පටන් නොගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍යමාර්ගය පටන් නොගන්නා ලදී. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ පටන්ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍යමාර්ගය පටන්ගන්නා ලදී. කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් නොගන්නා ලද්දාහුද? ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්නොගන්නා ලදී. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදී.”
3. 4. 4.
භාවිත සූත්‍රය
1212. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ (සංසාර සාගරයෙන්) මෙතරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. මහණෙනි, පුරුදු කරන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ (සංසාර සාගරයෙන්) මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.
3. 4. 5.
සතො සූත්‍රය
1213. “මහණෙනි, මහණ තෙමේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි. මහණෙනි, මහණතෙමේ කෙසේනම් සිහි ඇත්තේ වෙයිද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම කෙසේ නම් නුවණ ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්‍රකටව වේදනාවෝ උපදිත්ද, ප්‍රකටව වේදනාවෝ එළඹ සිටිත්ද, ප්‍රකටව වේදනාවෝ විනාශයට යෙත්ද ප්‍රකටව විතර්කයෝ උපදිත්ද ප්‍රකටව විතර්කයෝ එළඹ සිටිත්ද, ප්‍රකටව විතර්කයෝ විනාශයට යත්ද, “ප්‍රකටව සඤ්ඤාවෝ උපදිත්ද, ප්‍රකටව සඤ්ඤාවෝ එළඹ සිටිත්ද, ප්‍රකටව සඤ්ඤාවෝ විනාශයට යත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ නුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම සිහි ඇතිව නුවණ ඇතිව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි.”