3. 3. 7.
සමත්ත සූත්‍රය
393. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවකොට නිමාව එක්පසෙක සිටියාහුය. එක් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
[2] “ඇවැත් අනුරුද්ධයෙනි, අසේඛ අසේඛයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අසේඛ නම් වේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් සම්පූර්ණකොට වඩන ලද හෙයින් අසේඛ නම් වේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, [4] “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කොට වඩනලද බැවින් අසේඛ නම් වන්නේයයි” කීය.
3. 3. 8.
ලෝක සූත්‍රය
393. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවකොට නිමාව එක්පසෙක සිටියාහුය. එක් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
“ආයුෂ්මත් අනුරුද්ධතෙමේ කවර නම් ධර්මයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් මහත්වූ විශේෂ ඥානයට (ෂඞ්අභිඥාවන්ට) පැමිණියේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදු කරනලද බැවින් මහත් විශේෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි. කවර සතරෙක් ද යත්: “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි. “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි. “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි. “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදුකළ බැවින් මහත් විශේෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි. මම මේ සතර සතිපට්ඨානයන් පුරුදුකළ බැවින් බහුල වශයෙන් පුරුදුකළ බැවින් දහසක් සක්වල විශේෂයෙන් දන්නේ වෙමියි කීය.”
3. 3. 9.
සිරිවඞ්ඪ සූත්‍රය
395. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වාසය කරයි. එකල්හි වනාහි සිරිවඞ්ඪ ගෘහපති තෙමේ රෝගාතුර වූයේ, දුක් වූයේ, දැඩිසේ ගිලන් වූයේ වෙයි. ඉක්බිති සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ එක්තරා පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යව, ගොස්, ‘ස්වාමීනි, සිරිවඞ්ඪන ගෘහපතිතෙමේ රෝගාතුර වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පා හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව, මෙසේද කියව. “ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, සිරිවඞ්ඪ ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව, කියායි”