3. 3. 5.
බ්‍රාහ්මණ සූත්‍රය
1203. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථාවකොට නිමවා එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද, එයට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේද එයට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝකල් පවත්නේ නොවේ. බ්‍රාහ්මණය සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේ. “කවර සතරක්හුගේද යත්? බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, බ්‍රාහ්මණය මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. බ්‍රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි යනුයි. මෙසේ වදාළ කල්හි ඒ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. යම්සේ යටිකුරුකර තැබූ භාජනයක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මඟ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමි. අද පටන් මා දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට දරණසේක්වායි කීය.”
3. 3. 6.
පදෙස සූත්‍රය
392. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරත්. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ආයුෂ්මත් අනුරුද්ධයෙනි, සේඛ සේඛයයි කියනු ලැබේ. ආයුෂ්මත් අනුරුද්ධයෙනි, කොපමණකින් සේඛ නම් වේද?”
“ඇවැත්නි, සතර සතිපට්ඨානයන්ගේ කොටසක් වඩන ලද හෙයින් සේඛ නම් වේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ කොටසක් වඩන ලද හෙයින් සේඛ නම් වන්නේ යයි කීය.
3. 3. 7.
සමත්ත සූත්‍රය
393. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ටකී වනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් යම් තැනකද එතැනට ගියාහුය. ගොස් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවකොට නිමාව එක්පසෙක සිටියාහුය. එක් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීය.
[2] “ඇවැත් අනුරුද්ධයෙනි, අසේඛ අසේඛයයි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් අසේඛ නම් වේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් සම්පූර්ණකොට වඩන ලද හෙයින් අසේඛ නම් වේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, [4] “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කොට වඩනලද බැවින් අසේඛ නම් වන්නේයයි” කීය.