3. 3. 10.
මානදින්න සූත්රය
396. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ කලන්දකනිවාප නම්වූ වේළුවනයෙහි වාසය කරයි. එසමයෙහි මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක් වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති මානදින්න ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය. “පින්වත් පුරුෂය නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි යව. ගොස් ‘ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව. මෙසේද කියව. ‘ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මානදින්න ගෘහපතියාගේ ගෙදර යම් තැනකද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව’ කියායි. ඒ පුරුෂ තෙමේද, ස්වාමීනි එසේයයි ගෘහපතියාට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනකද එහි ගියේය. ගොස්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳියි.’ වැඳ මෙසේද කීවේය. ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා උපදවා මානදින්න ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වඩිනු මැනවයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආරාධනය නිශ්ශබ්දව ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන මානදින්න ගෘහපතියාගේ ගෘහය යම් තැනකද එතැනට වැඩියේය. වැඩමවා පැනවූ අසුනෙහි වැඩ හුන්නේය. වැඩහුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මානදින්න ගෘහපතියාට මෙසේ කීය. “කිම, ගෘහපතිය, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ අඩුවෙත්ද? කිම දියුණු වෙත්ද? දුක් වේදනාවන්ගේ අඩුවීමක් පෙනේද? වැඩීමක් නොපෙනේද?” “ස්වාමීනි, මට ඉවසියහැකි නොවේ. යැපියහැකි නොවේ. මගේ දැඩි දුක් වේදනාවෝ දියුණු වෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනෙයි.” “එසේ නම්, ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ‘කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි’... ‘වේදනාවන්හි...’ ‘චිත්තයන්හි...’ ‘ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.’ “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ රත්න ධර්මයෝ මා කෙරෙහි විද්යමාන වෙත්. මමද ඒ ධර්මයන් දකින්නෙමි. ස්වාමීනි, මම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි... වේදනාවන්හි... චිත්තයන්හි... ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් ඕරම්භාගීය සංයෝජන පසක් දේශනා කරන ලද්දාහුද, මම ඔවුන්ගෙන් කිසිවක් තමා කෙරෙහි ප්රහීණ නොවූයේයයි නොදකිමි.” ගෘහපතිය, නුඹට ලාභයකි. ගෘහපතිය, නුඹ විසින් අනාගාමී ඵලය ප්රකාශ කරන ලදැයි” කීය.
සීලට්ඨිතිවග්ගො තතියො.
එහි උද්දානය:
සීල, ඨිති, පරිහාන, සුද්ධක, බ්රාහ්මණ, පදෙස, සමත්ත, ලෝක, සිරිවඩ්ඪ සහ මානදින්න යැයි සූත්ර දසයකි.
4. අනනුස්සුත වර්ගය
3. 4. 1.
අනනුස්සුත සූත්රය
1209. සැවැත් නුවර: මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාවයයි මම පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය ඇතිවිය, විද්යාව ඇතිවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වැඩිය යුතුයයිද පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්යාව පහළවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වඩන ලද්දේයයිද මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය ඇතිවිය, විද්යාව පහළවිය, ආලෝකය පහළවිය. “මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වැඩිය යුතු යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළවිය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය. “මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, චිත්තයන්හි චිත්තානුපස්සනාව වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව යයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්යාව පහළ විය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්යාව පහළ විය, ආලෝකය පහළ විය.”
3. 4. 2.
විරාග සූත්රය
1210. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්. “කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂ ඥානය පිණිස චතුස්සත්ය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.”