3. 2. 5.
බාහිය සූත්රය
381. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් බාහිය ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. ‘ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව විවේකීව අප්රමාදීව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද එබඳු ධර්මයක් මට භාග්යවතුන් වහන්සේ සැකෙවින් දේශනා කරනසේක් නම් මැනවි”
“එසේනම් බාහියෙනි, නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? පිරිසිදුවූ සීලයද ඍජුවූ දෘෂ්ටියද වෙයි. බාහිය යම් කලක පටන් නුඹගේ සීලය පිරිසිදු වන්නේද, දිට්ඨිය ඍජු වන්නේද, බාහිය එතැන් පටන් නුඹ සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය. “කවර සතරෙක්ද? බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවාගෙන කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව. “බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව. “බාහිය, නුඹ මේ ශාසනයෙහි කෙළෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවාගෙන චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව. “බාහිය, නුඹ මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව. “බාහිය, නුඹ යම් කලක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද ඒනිසා බාහිය, නුඹට යම් රාත්රියක් හෝ දාවලක් පැමිණෙන්නේද (ඒ දවාලෙහිද රාත්රියෙහිද) දියුණුවක්ම කැමතිවිය යුතුයි පිරිහීමක් නොවේ.
ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේ තනිව විවේකීව අප්රමාදීව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවනලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව කෙළවර කොට ඇති ඒ උතුම් වූ නිවන මේ ආත්මභාවයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කෙළේය. ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළ යුත්ත කරන ලදී. මින්පසු ආත්මභාවයක් නැතැයි දැන ගත්තේය. ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේද රහතුන් අතරින් එක්තරා රහත් කෙනෙක් විය.
3. 2. 6.
උත්තිය සූත්රය
382. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව විවේකිව අප්රමාදව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද එබඳු ධර්මයක් මට භාග්යවතුන් වහන්සේ සැකෙවින් දේශනා කරන සේක්නම් මැනවි.” “උත්තිය එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුල පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? සීලය පිරිසිදු කිරීමද, දෘෂ්ටිය ඍජු කිරීමද වෙයි. උත්තිය, යම් කලක පටන් නුඹගේ සීලය පිරිසිදු වන්නේද, දිට්ඨිය ඍජු වන්නේද, උත්තිය, එතැන් පටන් නුඹ සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය. “කවර සතරෙක්ද? උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද, ක්රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව. “උත්තිය නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව. “උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව. “උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව. “උත්තිය, නුඹ යම් කලක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් වඩන්නෙහිද එතැන් පටන් නුඹ මාරයාට අයත් ලෝකයෙන් එතෙරට යන්නෙහිය.” ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ හුදෙකලාව විවේකීව අප්රමාදිව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්රහ්මචර්ය්යාව කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කළේය. ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
3. 2. 7.
අරිය සූත්රය
383. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූද මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්. “ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා චිත්තයන් කෙරෙහි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ උතුම්වූ නිවන් පිණිස පවත්නාවූ මේ සතර සතිපට්ඨානයෝ එය කරන්නාහු මනාකොට දුක් නැති කිරීමට පමුණුවත්.”
3. 2. 8.
බ්රහ්ම සූත්රය
384. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජා නදී තෙර අජපාල නුගරුක මුල වැඩ සිටි සේක. එකල්හි රහසිගතව විවේක සැපයෙන් සිටියාවූ භාග්යවතුන් වහන්සේට මෙබඳු අදහසක් පහළවීය. ‘සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂකර ගැනීම පිණිසද පවත්නාවූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය’ යනුයි. “සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණතෙම කෙලෙස්තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව වීර්ය්යයෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ‘සත්වයන්ගේ පිරිසිදු බව පිණිසද ශෝකකිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිසද යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද මෙය එකම මාර්ගයවෙයි.
එකල්හි සහම්පතී මහා බ්රහ්මතෙමේ භාග්යවතුන් වහන්සේගේ අදහස තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලු අතක් දිග හරින්නේද, දික්කළ අතක් හකුලන්නේද, එපරිද්දෙන් බඹලොවෙහි අතුරුදහන්වූයේ භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී මහාබ්රහ්මතෙමේ උතුරු සළුව එක් අංශයක කොට භාග්යවතුන් වහන්සේට ඇඳිලි බැඳ මෙසේ කීය.