3. 2. 2.
නාලන්දා සූත්රය
1190. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා නම් අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ශාරිපුත්ර ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේට මෙය කීය. “අර්හත් මාර්ගඥානයෙන් භාග්යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් අතීතයෙහිද නොවීය. අනාගතයෙහිද නොවන්නේය. දැනුදු නැතැයි භාග්යවතුන් වහන්සේ කෙරෙහි මේ කාරණයෙන් මම පැහැදුනෙමි.”
“ශාරිපුත්රය, ‘අර්හත් මාර්ග ඥානයෙන් භාග්යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් අතීතයෙහි නොවීය. අනාගතයෙහි නොවන්නේය. දැනුදු නැතැයි භාග්යවතුන් වහන්සේ කෙරෙහි මේ කාරණයෙන් මම පැහැදුනෙමි’ යන නුඹේ මේ වචනය (කීම) උසස්ය. ශ්රේෂ්ඨ වචනයකි. නිශ්චය වශයෙන් ගන්නා ලද්දකි. අභීත නාදයක් කරන ලදී. “ශාරිපුත්රය, කිමෙක්ද තොප විසින් අතීතයෙහි යම් ඒ අර්හත් සම්යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ බුදුවරු මෙබඳු සිල් ඇත්තෝ වූහ කියා හෝ ඒ බුදුවරු මෙබඳු සමාධි ඇත්තෝ වූහ කියා හෝ, මෙබඳු නුවණ ඇත්තෝ වූහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු සම්පත්ති ඇත්තෝ වූහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු මිදීම් ඇත්තෝ වූහ කියා හෝ, ඒ සියලු බුදුවරුන්ගේ සිත තොපගේ සිතින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“ශාරිපුත්රය, කිමෙක්ද? තොප විසින් අනාගතයෙහි යම් ඒ අර්හත් සම්යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ බුදුවරු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහුය කියා හෝ, ඒ බුදුවරු මෙබඳු සමාධි ඇත්තෝ වන්නාහ කියා හෝ ඒ බුදුවරු මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ බුදුවරු මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ කියා හෝ, ඒ සියලු බුදුවරයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.”
“කිමෙක්ද? ශාරිපුත්රය, තොප විසින් භාග්යවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේය කියා හෝ, භාග්යවත් තෙමේ මෙබඳු සමාධි ඇත්තේය කියා හෝ, භාග්යවත් තෙමේ මෙබඳු නුවණ ඇත්තේය කියා හෝ, භාග්යවත් තෙමේ මෙබඳු විහරණ ඇත්තේය කියා හෝ, භාග්යවත් තෙමේ මෙබඳු මිදීමක් ඇත්තේය කියා හෝ නුඹ විසින් මෙකල අර්හත් සම්යක් සම්බුද්ධයන්ගේ සිත තොපගේ සිතින් පිරිසිඳ දැන ගන්නා ලද්දේද?”-“ස්වාමීනි, එය එසේ නොවේමය.” “ශාරිපුත්රය, මෙහිලා නුඹට අතීත, අනාගත, වර්තමාන අර්හත් සම්යක් සම්බුදුවරයන්ගේ සිත් දැනීමේ නුවණක් නැත්නම්, ශාරිපුත්රය, එසේ ඇති කල්හි කුමක් නිසා නුඹ විසින් යම් ඒ නිර්වාණාබෝධයක් වේද එයින් භාග්යවතුන් වහන්සේට වඩා උසස් අන් ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් නොවීය. නොවන්නේය. දැනුදු නැත කීයෙහිද?”