12. 9. 7.
7. දාසිදාස සූත්‍රය
1157. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
12. 9. 8.
8. අජෙළක සූත්‍රය
1158. “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළි ගැනීමෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද? මහණෙනි, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 9.
9. කුක්කුට සූකර සූත්‍රය
1159. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 10.
10. හත්ථිගවාස්ස සූත්‍රය
1160. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝතුමූ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො නවමො.
එහි උද්දානය:
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක, කුක්කුටසූකර සහ වළවා යනු එහි සූත්‍රයි.
10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
12. 10. 1.
1. ඛෙත්තවත්ථු සූත්‍රය
1161. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෙක් තුමූ කෙත්වතු පිළිගැණීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ කෙත්වතු පිළිගැණීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්,
12. 10. 2.
2. කායවික්කය සූත්‍රය
1162. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද යත් “මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නාලද බවය.
12. 10. 3.
3. දූතෙය්‍ය ගමන සූත්‍රය
1163. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දූතනම් පණිවුඩ පණත්කම් කිරීමෙහි යෙදීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ දූතකම් පණිවුඩ පණත් කම් කිරීමෙහි යෙදීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතුකවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
12. 10. 4-6.
4. තුලාකූටාදි සූත්‍රය
1164. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ හොර තරාදිවලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම මෙයින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ හොර තරාදි වලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම් යන මෙයින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,
12. 10. 7-9.
5. උක්කෝටනාදි සූත්‍රය
1165. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,