12. 6. 8.
8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය
1128. ‘මහණෙනි, මහ මුහුද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ ඉතිරිව ක්ෂය වීමට කෙළවරවීමට යන්නේය. මහණෙනි ඒ කුමකැයි සිතන්නහුද? මහණෙනි, මහ මුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ යම් ඒ ජලයක් වෙයිද ඉතුරුවූ යම් ඒ දිය බින්දු දෙක තුනක් වෙයිද, එයින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?” “ස්වාමීනි, මහ මුහුදෙහි යම් ඒ ජලයක් ක්ෂයවූයේද කෙළවරවූයේද එයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක තුන ස්වල්ප වෙයි. මහමුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ ජලය හා සමාන කරන කල ඉතුරුවූ දිය බින්දු දෙක තුන ගණනකටද නොපැමිණෙයි උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි” “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 9.
9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය
1129. “මහණෙනි, පුරුෂයෙක් තෙමේ හිමාලය පර්වත රාජයාගේ සමීපයෙහි අබැට සතක් පමණවූ ගල් කැටයක් තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, ඒ තබන ලද යම් ඒ අබැට සතක් පමණවූ ගල් කැටය හිමාලය පර්වත රාජයා ය යන දෙකින් කුමක් නම් අතිශයින් මහත් වෙයිද?” “ස්වමීනි, යම් ඒ හිමාලය පර්වත රාජයෙක් වේද එයම අතිශයින් මහත් වන්නේය. සමීපයෙහි තබන ලද සත් අබැටක් පමණවූ ගල් කැටය ඉතා ස්වල්ප වෙයි. හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල ළඟ තබන ලද සත් අබැටක් පමණවූ කැටගල් සංඛ්‍යාවටද නොපැමිණෙයි, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.” “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 10.
10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය
1130. “මහණෙනි, හිමාලය පර්වතරාජයා අබැට සතක් පමණවූ ගල් කැටයක් ඉතිරිව තිබියදී ක්ෂය වීමට කෙළවර වීමට යන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාත් ඉතිරිවූ අබඇට සතක් පමණවූ ගල් කැටයත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?” “ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාම බොහෝ වෙයි. ඉතිරිවූ අබ ඇට සතක් පමණවූ ගල්කැටය ඉතා ස්වල්පවෙතියි ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල අබ ඇට සතක් පමණවූ ගල් කැටය ගණනකටද නොගැනේ. උපමාවකටද නොපැමිණේ. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
අභිසමයවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
නඛසිඛ, පොක්ඛරණී ද, සම්භෙජ්ජ සූත්‍ර දෙක ද, පඨවි සූත්‍ර දෙක ද, සමුද්ද සූත්‍ර දෙක ද, පබ්බතූපම සූත්‍ර දෙක දැයි සූත්‍ර දසයකි.