12. 6. 10.
10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්රය
1130. “මහණෙනි, හිමාලය පර්වතරාජයා අබැට සතක් පමණවූ ගල් කැටයක් ඉතිරිව තිබියදී ක්ෂය වීමට කෙළවර වීමට යන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාත් ඉතිරිවූ අබඇට සතක් පමණවූ ගල් කැටයත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?” “ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාම බොහෝ වෙයි. ඉතිරිවූ අබ ඇට සතක් පමණවූ ගල්කැටය ඉතා ස්වල්පවෙතියි ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල අබ ඇට සතක් පමණවූ ගල් කැටය ගණනකටද නොගැනේ. උපමාවකටද නොපැමිණේ. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්ය්ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
අභිසමයවග්ගො ඡට්ඨො.
එහි උද්දානය:
නඛසිඛ, පොක්ඛරණී ද, සම්භෙජ්ජ සූත්ර දෙක ද, පඨවි සූත්ර දෙක ද, සමුද්ද සූත්ර දෙක ද, පබ්බතූපම සූත්ර දෙක දැයි සූත්ර දසයකි.
7. චක්ක පෙය්යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය
12. 7. 1.
1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්රය
1131. [1] එකල්හි භාග්යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි. [2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.” [3] “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් අන්තන්හි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, චතුස්සත්යයන් නොදක්නාලද හෙයිනි. කවර සතරක්ද? [4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී. [5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
12. 7. 2.
2. පච්චන්තජායන සූත්රය
1132. (මේ වර්ගයේ සියලු සූත්රයන්හිම මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්යම ජනපදයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. අප්රසිද්ධ ප්රත්යන්ත ම්ලෙච්ඡ ජනපදයන්හි උපදිත්ද, ඔව්හුම අතිශයින් බොහෝ වෙති ඊට හේතු කවරේද යත්, චතුස්සත්යයන් නොදක්නාලද හෙයිනි කවර සතරක්ද? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 3.
3. පඤ්ඤචක්ඛු සූත්රය
1133. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්ය්යවූ ප්රඥා චක්ෂුසින් යුක්තවූවාහුද ඔව්හු ඉතා ස්වල්පවෙත්. යම් සත්ව කෙනෙක් අවිද්යාවෙන් මුළා වූවාහුද ඔව්හුම බොහෝ වෙත්. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)