12. 5. 3.
පරිළාහ සූත්රය
3885. “මහණෙනි, ‘මහාපරිළාහ’ නම් නිරයක් ඇත්තේය. එහි ඇසින් යම් කිසි රූපයක් දකියිද, අනිෂ්ට රූපයක්ම දකියි. ඉෂ්ට රූපයක් නොදකියි. නොකැමති රූපයක් ම දකියි. කැමැති රූපයක් නොදකියි. අමනාප රූපයක් ම දකියි. මනාප රූපයක් නොදකියි. කනින් යම් කිසි ශබ්දයක් අසයිද -පෙ- නහයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්රාණය කෙරෙයිද -පෙ- දිවෙන් යම්කිසි රසයක් විඳියිද -පෙ- කයින් යම් කිසි ස්පර්ශයක් ස්පර්ශ කෙරෙයිද -පෙ- සිතින් යම්කිසි ධර්මයක් දනියිද අනිෂ්ට ධර්මයක්ම දනියි. ඉෂ්ට ධර්මයක් නො දනියි. නො කැමති ධර්මයක් ම දනියි. කැමැති ධර්මයක් නො දනියි. අමනාප ධර්මයක් ම දනියි. මනාප ධර්මයක් නො දනියි.” මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඒ දැවීම ඒකාන්තයෙන් මහත්ය. ස්වාමීනි, ඒ දැවීම අතිශයින් මහත්ය. ස්වාමීනි, මේ දැවීමට වඩා මහත්වූද, භයානකවූද, අන්යවූ දැවීමක් ඇත්තේ ද?” “මහණ මේ දැවීමට ඉතා මහත්වූද ඉතා භයානකවූ ද අන්යවූ දැවීමක් ඇත්තේය.” “ස්වාමීනි, මේ දැවීමට වඩා ඉතා මහත් වූ ද, ඉතා භයානක වූ ද අන්ය දැවීම නම් කුමක්ද?”
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ‘මෙය දුකයයි’ තත්වූ පරිදි නොදනිත්ද -පෙ- ‘මෙය දුක නැතිකරන මාර්ගයයි’ තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත් -පෙ- ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාවූ -පෙ- ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත් -පෙ- ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන්ද පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට -පෙ- ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට ඉපදීම් නමැති දැවීමෙන්ද දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද දැවෙත්. මැරීම් නමැති දැවීමෙන්ද දැවෙත්. ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස සහ උපායාස නැමැති දැවීමෙන්ද දැවෙත්. ඔවුහු ජාති-ජරා-මරණ ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ‘මෙය දුකයයි’ තත්වූ පරිදි දනිත්ද -පෙ- ‘මෙය දුක නැතිකරන මාර්ගයයි’ තත්වූ පරිදි දනිත්ද, ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙත් -පෙ- නොඇලෙන්නාහු -පෙ- රැස් නොකොට -පෙ- ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට ඉපදීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. මැරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත් ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස සහ උපායාස නමැති දැවීමෙන්ද නොදැවෙත්. ඔවුහු ජාතිජරා-මරණ ශොක, පරිදේව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් මිදෙත්. දුකින් මිදෙත් යයි කියමි. මහණෙනි, එහෙයින් ‘මෙය දුකයයි’ දැනීම පිණිස උත්සාහ කටයුතුයි. -පෙ- ‘මෙය දුක නැති කරන මාර්ගයයි’ දැනීම පිණිස උත්සාහ කළයුතුයි.”
12. 5. 4.
කූටාගාර සූත්රය
3886. “මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ අරියසච්චං තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදා අරියසච්චං තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ. “මහණෙනි, යමෙක් ‘මම දෙමහල් ගෙයක (කූටාගාරයක) යට මහල නොකොට උඩු මහල කරන්නෙමියි’ කියන්නේ නම් යම් සේ එය සිදු නොවන්නේද මහණෙනි, එසේම වනාහි යමෙක් මම දුක්ඛාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට -පෙ- දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා අරියසච්චං තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමියි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු නොවේ.
“මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ කොට -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ කොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදු වන්නේය. “මහණෙනි, යමෙක් වනාහි ‘මම දෙමහල් ගෙයක යට මහල කොට උඩු මහල කරන්නෙමියි’ කියන්නේ නම් යම්සේ එය සිදුවන්නේද, මහණෙනි, එසේම වනාහි යමෙක් ‘මම දුක්ඛාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ කොට -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ කොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදුවන්නේය. මහණෙනි, එහෙයින් ‘මෙය දුකයයි’ දැනීම පිණිස උත්සාහ කටයුතුයි. -පෙ- ‘මෙය දුක නැති කරන මාර්ගයයි’ දැනීම පිණිස උත්සාහ කළයුතුයි.”
12. 5. 5.
ලිච්ඡවි සන්ථාගාර සූත්රය
1115. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසාලා මහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳ, පාත්ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිණ්ඩපාතයේ වැඩියහ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි ශාස්ත්රශාලාවෙහි ඉගෙණ ගන්නාවූ දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදින්නාවූ බොහෝ ලිච්ඡවී කුමාරයන් දැක්කේය. දැක, උන්වහන්සේට මේ සිත ඇතිවිය. ‘මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් (ශිල්පයෙහි) හික්මුණාහුය. ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමරුවෝ අතිශයින් හික්මුණාහුය. යම්හෙයකින් දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල්හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදිත්ද එහෙයිනි”