12. 5. 1.
ලොකචින්තා සූත්‍රය
3883. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට අඬගා මෙසේ වදාළේය. “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහ නුවරින් නික්මී, ‘ලෝකය ගැන සිතන්නෙමියි’ කියා, සුමාගධා නම් පොකුණ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සුමාගධා නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම වනාහි සුමාගධා නම් පොකුණෙහි නෙළුම් දණ්ඩක සිදුරු වලට ඇතුල් වන්නාවූ සිව්රඟ සෙනඟක් දැක්කේය. දැක, ඔහුට මේ සිත ඇතිවිය. ‘මම නම් පිස්සෙක්මි. මම නම් වික්ෂිප්ත සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ රජගහනුවරට පැමිණ මහාජනයා හට මෙය කීයේය. ‘පින්වත්නි, මම නම් පිස්සෙක්මි. පින්වත්නි, මම නම් විසුරුණු සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි. ‘පින්වත් පුරුෂය, කෙසේ නම් නුඹ පිස්සෙක් වූයෙහිද කෙසේ විසුරුණු සිත් ඇත්තෙක් වූයෙහිද, නුඹ විසින් දක්නා ලද ඒ ලෝකයෙහි නැති දෙය නම් කුමක්ද?’ ‘ස්වාමීනි, මම මේ රජගහ නුවරින් නික්මී ලෝකය ගැන සිතන්නෙමියි සුමාගධා නම් පොකුණ යම් තැනෙක් හිද එතැනට ගියෙමි ගොස්, සුමාගධා නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නෙමි. ස්වාමීනි, මම වනාහි සුමාගධා නම් පොකුණු ඉවුරෙහි නෙළුම් දණ්ඩකට ඇතුල්වන්නාවූ සිව්රඟ සෙනගක් දැක්කෙමි. ස්වාමීනි, මෙසේ වනාහි මම පිස්සෙක් වූයෙමි, විසුරුණු සිත් ඇත්තෙක් වූයෙමි. ලෝකයෙහි නැත්තාවූ මෙය මා විසින් දක්නා ලදැයි’ කීය. ‘පින්වත් පුරුෂය, එසේ නම් නුඹ ඒකාන්තයෙන් පිස්සෙක් වෙහිය. ඒකාන්තයෙන් විසුරුණු සිත් ඇත්තෙක් වෙහිය. නුඹ විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලදැයි’ කීවාහුය. මහණෙනි, ඒ පුරුෂ තෙම වනාහි වූ දෙයක්ම දුටුවේය. එය නොවූ දෙයක් නොවේමය.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. එනම් සුරා’සුර යුද්ධය එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී වනාහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුණු අසුරයෝ වනාහි බිය වූවාහු, දෙවියන් මුළා කරමින් නෙළුම් දණ්ඩකට රිංගන්නාක් මෙන් පෙනෙන සේ මායාවක් කොට අසුර පුරයට ගියාහුය. මහණෙනි, එහෙයින් ‘ලෝකය නිත්‍යයි’ කියා හෝ ‘ලෝකය නිත්‍ය නොවේයයි’ කියා හෝ ‘ලෝකයෙහි කොණක් ඇත්තේය’ කියා හෝ, ‘ලෝකයෙහි කොණක් නැත්තේය’ කියා හෝ ‘එයම ජීවය, එයම ශරීරයයි’ කියා හෝ ‘ජීවය අනිකකි, ශරීරය අනිකකියි’ කියා හෝ ‘සත්වතෙම මරණින් මතු වන්නේය’ කියා හෝ ‘සත්වතෙම මරණින් මතු නොවන්නේය’ කියා හෝ, ‘සත්වතෙම මරණින් මතු වන්නෙත් වෙයි, නොවන්නෙත් වෙයි’ කියා හෝ, ‘සත්ව තෙම මරණින් මතු නොවෙයි, නොවන්නෙත් නොවෙයි’ කියා හෝ ලෝකය ගැන කල්පනා නොකරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස නොවෙයි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස නොපවතියි.
“මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි ‘මෙය දුකයයි’ සිතව්. ‘මෙය දුක නැතිවීමයයි’ සිතව්. ‘මෙය දුක නැති කරන මාර්ගයයි’ සිතව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස වෙයි. මෙය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. මෙය කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි. මහණෙනි, එහෙයින් ‘මෙය දුකයයි’ දැනීම පිණිස උත්සාහ කටයුතුයි. -පෙ- ‘මෙය දුක නැති කරන මාර්ගයයි’ දැනීම පිණිස උත්සාහ කළයුතුයි.”
12. 5. 2.
පපාත සූත්‍රය
3884. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භිකෂූන්හට අඬගා මෙසේ වදාළේය: “මහණෙනි, යමු. පටිභානකූටය යම් තැනෙක්හිද, එතැන දවල් වාසය පිණිස පැමිණෙමු” කියායි. “එසේය ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා සමග ‘පටිභානකූටය’ යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. එක්තරා භික්ෂුවක් වනාහි පටිභාන පර්වතයෙහි මහත්වූ ප්‍රපාතයක් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ ප්‍රපාතය විශාලය. ස්වාමීනි, මේ ප්‍රපාතය අතිශයින් විශාලය. ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාල වූත්, භයානකවූත් වෙන ප්‍රපාතයක් ඇත්තේද?” කියායි. “මහණ, මෙයට වඩා විශාලවූත්, භයානකවූත් වෙන ප්‍රපාතයක් ඇත්තේය.” “ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාලවූත් භයානකවූත් අන්‍යවූ ප්‍රපාතය කවරේද?”
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ‘මෙය දුකයයි’ තත්වූ පරිදි නොදනිත්ද, ‘මෙය දුකට හේතුව යයි’ තත්වූ පරිදි නොදනිත්ද, ‘මෙය දුක නැතිවීම යයි’ තත්වූ පරිදි නොදනිත්ද, ‘මෙය දුක නැතිකරන මාර්ගයයි’ තත්වූ පරිදි නොදනිත්ද ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. මරණය පිණිස පවතින්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාවූ, දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු, ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස, උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන්ද පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්.